තීරුබදු සහන වාහන ආනයනයේදි සිදුවූ වංචාව . . .

රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ BMW වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතල රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන්නේ යැයි සඳහන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව නව විමර්ශනයක් සිදු කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරනු ලබන එම විමර්ශනය අභියෝගයට ලක් කරමින් පෙස්ටීජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මෙම තීන්දුව නිකුත් කරන ලදි.

2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දුන් තීරු බදු සහන බලපත්‍ර යටතේ නව බී.එම්. ඩබ්ලිව් වාහන 1728ක්  ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බදු වංචාවක් සිදුවී ඇතැ‍යි සදහන් කරමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම් කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශනය පසුව අවසන් කෙරුණු අතර අදාල වාහන ආනයනයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බැවින් රේගු පනතේ 119 වගන්තිය යටතේ පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බවත් එහිදී එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කෙරුණු බවත් තීන්දුවේ සඳහන් වේ.

ඊට එරෙහිව පෙත්සම්කාර සමාගම විසින් මීට පෙර නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණය විසින් අදාළ විමර්ශනය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඉන් අනතුරුව අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා 2022.10.22 දින පෙනී සිටින දන්වා ශ්‍රී ලංකා රේගුව වෙතින් තමන්ට කැඳවීමක් ලැබුණු බව පවසමින් පෙත්සම්කාර සමාගම  විසින් අභියාචනාධිකරණයට මෙම නව රිට් පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස හිටපු රේගු නිලධාරී මුරුගේසු තයාබරන් ද ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර සමාගම විසින් ගොනුකර ඇති ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙස අයැද තිබුණි.

එම නව පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී වග උත්තරකාර රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්  සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මාණු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව  නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් නව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම වාහන ආනයනය කිරීමේ සිද්ධියේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව පෙනී යන බව සඳහන් කළේය. ඒ අනුව නව විමර්ශනයක් පැවැත්වීම මගින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සිය බලය අභිබවා ගොස් කටයුතු කර ඇති බවට ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති නිසා අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් තීන්දුවේ සඳහන් විය.

ඉක්මවා කටයුතු  කළ බව ඔප්පු කිරීමට පෙත්සම්කාර පාර්ශවය අපොහොසත් වූ බවටද විනිසුරු මඩුල්ල විසින් තීරණය කර තිබේ.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කා අත්අඩංගුවට . . .

Thu May 9 , 2024
  ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08දා) සවස අත්අඩංගුවට ගන්නා ලදී. එම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x