කොළඹ කුණු පුත්තලමට . . .

කොළඹ නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බව ත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ත් කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර පවසයි.

ව්‍යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ජූනි 5 වන දා සිට ආරම්භ කර ඇති අතර 2014 වසරේදී එවකට පැවති ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

දිනෙන් දින ඉහළ යන කොළඹ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසදීමේ අරමුණින් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ තිබූ හුණු ගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වළවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රඳවනයක් සහ අප දියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පැවරී ඇත.

ඒ අනුව, කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන 2ක් ඉදිකිරීම හා ඊට අදාළ දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදු වී තිබේ.

මුල් අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරය ආශ්‍රිතව ජනනය වන කසල මෙට්‍රික් ටොන් 1200ක් කැලණිය කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් එහිදී සම්පීඩනයට ලක් කර බහාලුම් පෙට්ටිවල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර අරුවක්කාලුවලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සදහා ය.

එහෙත් මේ වන විට බස්නාහිර පළාතේ, පළාත් පාලන ආයතන මගින් බැහැර කෙරෙන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකි වන පරිදි මෙම පහසුකම් ඉදිකර තිබේ.

මෙම ව්‍යාපෘතියේ මුළු පිරි වැය අමෙරිකානු ඩොලර් මිලියන 130ක් වන අතර කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසල ප්‍රවාහනය කිරීමට දුම්රිය එන්ජින් 4ක් ආනයනය කර ඇත.

ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වනතුරු එම එන්ජින් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.

කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගෙන ඇති අතර කැලණිය සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල් 17ක් අලුත්වැඩියා කර ලබා දී ඇත.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ව්‍යපෘතියේ කොන්ත්‍රාත්කරුවන් විසින් මාස 3ක කාලයක් සදහා කාර්මිකයින් පුහුණු කිරීම, කසල එකතු කිරීමේ අංගනයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි.

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ, චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරින් ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔෆ් චයිනා සමාගම විසිනි.

මේ වන විට අක්කර 140ක් වන අරුවක්කාලු කසල රඳවන මධ්‍යස්ථානයේ සහ අක්කර 20ක් වන වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානයේ ද වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

ඒ අනුව, ව්‍යාපෘතිය පසුගිය මාර්තු 31 දිනය වන විට අවසන් කර තිබේ.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය වසරකට අධික කාලයක් නතර කර තිබී ඇති අතර මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා වෙන් කෙරුණ මුදල රුපියල් මිලියන 5,500 කි.

ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම මේ දිනවල සිදු කරන බව ත් එම පුහුණුව හා පෙරහුරු පරීක්ෂණ අවසන් වූ වහා ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ත් මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සඳහා නව ආයෝජකයන් තිදෙනෙකු ඉදිරිපත්ව ඇති අතර ඉන් එක් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා වන යෝජනාව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ය.

  • Anjali Withanage

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි . . .

Thu Jun 13 , 2024
ඔස්ට්‍රියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හිම කැට වර්ෂාවකට හසුවී දැඩි ලෙස අලාභහානි වී ඇති බව ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසනවා. කෙසේවෙතත් මෙම බිහිසුණු හිම කැට වර්ෂාවට හසු වූ ගුවන් යානය මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සමඟ ස්පාඤ්ඤයේ Palma de Mallorca සිට ඔස්ට්‍රියාවේ Vienna දක්වා පියාසර කළ අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x