සීගිරියේ හැබැ අයිතිකරුගේ සොහොන් කොත..

මේ ස්ථානයේ ආදාහනය කරනු ලැබු තැනැත්තාද මේ අනුව බලන්නට සීගිරි යුගයේ ජීවත් වුණු කිසියම් ශ්‍රේෂ්ධයකුගේ විය යුතුය

1 min read

සීගිරී කස්සප රජුගෙ සැබෑ සොහොන් ගැබේ ඇත්ත කතාව

 
මිනිසුන් තම ඥාතීන් මියගිය පසු ඔවුන් වෙනුවෙන් හත් දවසේ,තුන් මාසේ,අවුරුද්දේ දන් දී පින් පමුණුවයි.එහෙත් මෙවැනි අරුම පුදුම දන් පළිගැන්වීමක් අප ඇසු වගක් මතකයට නොඒ.ඒ වසර 1517 කට පෙර මියගිය අයෙකුට පසුගියදා පිරිත් කියා දානයක් දුන් වග දැනගන්නට ලැබීමය.එදා බොහෝ දෙනෙකු පේවී පිරිසිදු කොට සකසාගත් දානයකි.සියළු දෙනාගේම දෑත් මැද රැඳි බඳුන්පුරා කිරිබත්,ඉඳිආප්ප,මුං ඇට,අල,බතල,මඤ්ඤොක්කා පිරී ඇත.ශ්‍රද්ධාව  උතුරන දෑසින්ද ගෞරවය කැටිවූ හදවතින්ද යුතුව සියළු දෙනාම මහා සංඝරත්න විෂයෙහි හීල්දානය පිලිගැන්වුවේය.පෙරදින තුන්යම පුරා පැවති පරිත්‍රාණ ධර්ම දේශනයත් මේ දානමය කටයුත්තත් සිදුවුයේ සීගිරි කාෂ්‍යප රජු සිහිකොට පින් අනුමෝදන් කිරීම සඳහාය.ඒ කටයුත්ත සිදුකෙරුණේ හබරණ ටැම්පිට විහාරයේය.ඒ සඳහා මෙම ස්ථානයන් මෙම දින වකවානුවේ දීමටද හේතු කාරණා තිබිණි.හබරණ ප්‍රදේශයේ පැවති කාශ්‍යප,මුගලන් යුද්ධයේදී කාශ්‍යප රජු මිය යාම නිසාත්,මෙම විහාරයේදී එම පුජ්‍ය කටයුත්ත සිදුකිරීමට කටයුතු යෙදිණි. ඉතිහාසඥයන් කරන ලද පර්යේෂණ අනුව හා පතපොතෙහි සඳහන් වන පරිදි මේ යුද්ධය තිබි කාල වකවානුවේ,මඩවගුරු තිබීමට නම් වැසි ඇදහැලෙන කාලයක මේ යුද්ධය තිබිය යුතු බවට අනුමාන කිරීම නිසා මෝසම් වැසි ඇදහැලෙන නවම් මස දිනක් වෙන්කරගෙන තිබිණ.ඒ සමගම ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වුයේ කාශ්‍යප රජුගේ සොහොන් කොත මෙම ටැම්පිට විහාරයේ පිහිටුවා ඇති බවත්,ඒ නිසාවෙන් මෙම දානය හා පිරිත දුන් බවය.ඒ එය බොහෝ දෙනෙකුගේ කුතුහලයට බඳුන් විය.


සීගිරිය ජගත් උරුමයකි.ලංකාවේ පමණක් නොව ලෝකයේම ගෞරවාදරයට පාත්‍රවූවකි.ප්‍රාග්ඓතිහාසික යුගයන් දක්වා දිවෙන අතීතයක් හිමි සීගිරි පර්වතය දැන් පවතින ජීවී කලාගාරයක් බවට පත් කරන ලද්දේ සිංහල රජාවලියේ ධාතුසේන රජුගේ යකඩ දෝලි බිසවකගේ පුතකු වූ කාශ්‍යප රජු විසිනි.
 කාශ්‍යප,කසුබ් ලෙස විවිධ නම්වලින් හඳුන්වන ලද කලාකාමී සිතැත්තකු වූ පළමුවන කාශ්‍යප රජු හෙවත් සීගිරි කාශ්‍යප රජු අද දක්වාම තම නම ලොවපුරා ප්‍රතිරාවය වීමට සලසා ඇත්තේ සීගිරි පර්වතය මත කළ සැබෑ  නිර්මාණාත්මක සලකුණු නිසාවෙනි.කාශ්‍යප රඩුගේ සොහොන සම්බන්ධයෙන් අප තුළ මතුවන ප්‍රශ්නාර්ථ දෙකකි.ඉන් පළමුවැන්න මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් තම පුරාවිදු පර්යේෂණ නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ පිදුරංගල විහාරයේ පිහිටි ස්තූපය (වර්තමානයේ සීගිරි දළ්හ විහාරය ලෙස හදුනාගෙන ඇත) කාශ්‍යප  රජුගේ සොහොන විය හැකි බවට පුරාවිද්‍යත්මක මතයක් ඉදිරිපත් කොට තිබීමය.දෙවැන්න මේ වන විට පුරාවෘත්තවල සඳහන් වන පරිදි හබරණ ටැම්පිට විහාරයට අයත් ගල්තලාව මත පිහිටි චෛත්‍යය කාශ්‍යප රජුගේ සොහොන බවය. ය්ම දෙයක් කී පමණින්  පිළිගැනීම පුරාවිද්‍යාවේ සම්ප්‍රදාය නොවේ.ඒ අනුව මේ පිළිබඳව වූ ජනප්‍රවාද මෙන්ම කාශ්‍යප රජුගේ සොහොන ලෙස හඳුන්වන ථූපය විමසීමට සිතා හබරණ ටැම්පිට විහාරයට ගියහ.

කාශ්‍යප රජුගේ සොහොන

     හබරණ ටැම්පිට විහාරයේ විහාරාධිපති හුරුළු වැව දෙපළාතේ සංඝනායක දිවුලන්කඩවල ධීරානන්ද හිමියෝ අප සමග මෙසේ පැවසූහ.”ජනප්‍රවාදයේ තියෙන හැටියට කාශ්‍යප රජ්ජුරුවෝ තමන්ගේ සහෝදරය මුගලන් කුමාරයා එක්ක තිබුණු සටන මේ හබරණ තමයි වෙලා තියෙන්නෙ.ඊට පස්සේ රජ්ජුරුවන්ගේ මරණයත් වෙලා තියෙන්නේ මේ පළාතේ නිසා රජ්ජුරුවන්ගේ ආදාහනයත් මෙහෙම කරලා මෙතන උඩ තියෙන ගල් ගලාවේ ස්තූපයක් තැනුව කියලා මිනිස්සු කියනවා.”මේ ජනප්‍රවාදය පිළිබඳ මෙන්ම මූලාශ්‍ර ඔස්සේද අප කරුණු විමසුවෙමු.අප මහාවංශයේ දෙවැනි කොටස වූ චූලවංශයේ 39 වන පරිච්ඡේදයේ සදහන් වන පරිදි කාශ්‍යප රජු තම සොහොයුරා සමඟ සටනේදී මඩවළක් දැක එය මඟහැරීමට ඇතු ආපසු හරවා ඇත.ඒ නිසාම රජු පැරදී ඇති බව සිතා කාශ්‍යප රජුගේ පිරිස පලාගොස් ඇත.තම සතුරා අතින් මියයෑමට වඩා කමන් විසින්ම මියයෑම උතුම්කොට සැලකු රජු තම කඩුවෙන්ම හිස සිඳගත්තේය. හබරණ පළාතට නම සැදීමටද මෙම සටන තේමාවී ඇති බවටද ජනප්‍රවාදයකි. එනම් මුගලන් හා කාශ්‍යප අතර ඇතිවූ හබය නිසා රණකාමී යුද්ධය සිදුවීම නිසා හබය ඇති වූ රණකාමී තැන යන අරුතින් හබරණ වූ නම සෑදුණු බවටද අදහස් මතුවේ.මෙම ටැම්පිට විහාරයට යාබදව ඇති ආභරණ වැව නිසාද මෙලෙස නම සෑදෙන්නට සමහර විට හේතුවන්නට ඇතැයිද යම් අනුමානයකටද පැමිණිය හැකිය.ආභරණ-අබරණ-හබරණ ලෙස පැමිණෙන්නට ඇත.

 කෙසේ වුවද කිසි කළෙකත් ඓතිහාසිකව සිදුවන පුරාවිද්‍ය පර්යේෂණ සඳහාද මෙවැනි පුරාවෘත්ත අමතක කිරීමට හෝ අනවශ්‍ය යැයි කියා බැහැර කරලීම නොකළ හැක්කකි. සීගිරි ව්‍යාපෘතියේ කෞතුකාගාර පාලක කුසුම්සිරි කොඩිතුවක්කු මහතා පැවැසු පරිදි මෙම ස්තූපය කාශ්‍යප රජුගේම බව නිශ්චිත කොට කීමට තරම් පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී නැත.එසේ සෙවීමට නම් පර්යේෂණ කැණීමක් කළ යුතුය.මෙම ස්ථානයේදී පුරාවෘත්ත සේම තවත් සිදුවීම්ද සැලකිල්ලට ගතයුතු බව හෙතෙම පැවසීය.එනම් මෙම පර්වතය උඩ පිහිටි ස්තූප ගොඩනැගිල්ලේ හරි මැද වන පරිදි ගල්තලාව මත සිටගත් විට පෙනෙන්නේ සීගිරියේ මාලිගාව තිබූ ඉදිරිපසමය.එයද යම් සැලකිල්ලකට බඳුන්විය යුතුය.

තවද මෙසේ සෘජු රේඛීයව මෙසේ සීගිරි පර්වතයේ ඉදිරිපස දෙසම දර්ශනය වීම යම් විශෙෂයකි. එමෙන්ම ඉපැරණි විහාරයක් වූ මහනුවර යුගයේ සිතුවම් රැඳි මෙම ටැම්පිට විහාරයේ ඓතිහාසික වටිනාකම දේවානම්පියතිස්ස රජ දවස දක්වාම දිවෙන්නකි.දෙතිස්ඵල බෝධියක්ද  පිහිටුවා ඇති මෙම විහාරයට අයත් වෙනත් ස්තූලයක් නොමැති වීමත් එවන් ථූපයක් අතීතයේ තිබු බවට පොතපතෙහි සඳහන් වීමත් සමඟම මේ ස්තූපය රජුගේ සොහොනද නොඑසේ නම් විහාරයේම සුතූපයද යන තර්කයද මතුවේ. කෙසේ වුවද මේ වන විට මෙම සුථානයේ ඇති ස්තූපය පස්ගොඩැල්ලක් වන තරමටම ගරාවැටී ඇත.ඒ පිළිබඳ කිසි ගරු සැලකිල්ලක් දක්වන වගක් පෙනෙන්නට නැත.මෙ ස්තූපය අසල ඇති ශිලා ලිපිය වසභ රජුගේ කාලයට අයත් වසභ රජුගේ ඇමැතියෙකු විසින් කරවන ලද්දකි.එහි සඳහන් වන්නේ “සිද්ධ මාමුජින ගාමිණී කිරියහී අමෙතවය යහපුත අහිවල මහවවිය අති වවිය දකිනි ගැලණි කනි අතට විය….” යනුවෙන් ලියන ලද දීර්ඝ ලිපියකි. එනම් “ගං වතුරින් වැනසී යන ගම් ආරක්ෂා කිරීමත් කෘෂිකාර්මික කටයුතු සඳහාත් වැවක් ඉදිකළ බවද,එහිදී කළ පුද පූජා පැවරීම් පිළිබඳ එහි සඳහන් වේ”


සීගිරි කාශ්‍යප රජු පිළිබඳ සඳහන් වන ශිලා ලිපියක්  මේ ස්ථානයෙන් හෝ මේ අවටින් මෙතෙක් හමුවී නොමැත.එහෙයින්ම අප හට මෙම ස්තූපය කාශ්‍යප සොහොන ලෙස පිළිගැනීමට හෝ නොපිළිගෙන සිටීමට හැකියාවක් නැත.තවදුරටත් ඒ පිළිබඳ පිළිගත හැකි සාධක එක් රැස් කළ යුතුය. පුරාවිද්‍යා මහාචාර්ය පරණවිතාන මහතා සඳහන් කළ පරිදි පිදුරංගල විහාර සංකීර්ණයට අයත් පහළ ස්තූප අද වන විට හඳුන්වන්නේ කාශ්‍යප රජ දැවු ආදාහනය කළ ස්ථානය ලෙසය.ඒ පිළිබඳව 1951 දී කරනු ලැබූ පර්යේෂණ කැනීම් සාක්ෂි දරයි.ඒ අනුව පරණවිතාන මහතා මෙසේ සටහනක් තබා ඇත.
‘අප හෑරූ වළ මුල් ස්තූපයේ හොඳින් බඳින ලද බදාම තට්ටුව තුළිනුත් වසාදමන ලද ගර්භයේ අඩියට යටිනුත් තව අඩි හතරකුත් අඟල් හයක් ගැඹුරට කණවන ලදී.එවිට මළුව පිරවීමට යෙදූ කහපාට පසක් හමුවිය.තව අඩි දෙකකුත් අඟල් හයක් ගැඹුරට හෑරූ විට කහපාට පසක් හමුවී මෙහිදී බිම හැම තැන අඟුරු කැබලි තිබෙනු දක්නා ලදී.පිලිස්සුණු පසද ඒ අතර  විය.අනුරාධපුරත් දක්ෂිණ ථුපය පස මෙන් මෙයද සුසානභූමියක ඉදිකරන ලද්දක් බව මෙයින් පෙනී ගියේය.  මුල් ස්තූපය සඳහා පාවිච්චි කර ඇති සීගිරි පර්වතයට බටහිර පැත්තේ ප්‍රමද වනයෙහි නටඹුන් අතර දක්නට ලැබෙන ගඩොල් තරමට විශාලය.මේ අනුව පිදුරංගල පිහිටි මේ ස්තූපයේ මුල් අත්තිවාරම දමන්නට ඇත්තේ සීගිරිය පිහිටුවු මුල් අවධියේ විය හැකිය.මේ නිගමනය එහි තිබී එහි තිබී හමුවූ රෝම කාසියෙනුත් සනාථ වේ. මේ ස්ථානයේ ආදාහනය කරනු ලැබු තැනැත්තාද මේ අනුව බලන්නට සීගිරි යුගයේ ජීවත් වුණු කිසියම් ශ්‍රේෂ්ධයකුගේ විය යුතුය.එදා පරණවිතානයන් එසේ කියා ඇත්තේ අද වන විට මෙහි සිදුව ඇති සොයාගැනීම්  අනූව මෙම ස්තූපය  පසුකළෙක මුගලන් රජු විසින් කර ඇති “සීගිරි දළ්හ විහාරය” නම් වූ ආරාම සංකීර්ණය සතු ථූපය බවට තහවුරු කොට ඇත.මේ පිළිබද ඇති මත ද්වයම පිළිබඳ ජාතික වශයෙන් අපගේ අවධානයට පාත්‍රවිය යුතු වග අපගේ හැඟීමයි.’


 

Leave a Reply

Your email address will not be published.

Latest from Blog