රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයක . . .

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි.

සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. සිසුන් ලක්ෂ 5 කට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්කර ඇති නමුත් මෙම අර්බුදය නිසා විභාග පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උපයන විට ගෙවීමේ බද්ධ ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා මාස 3 කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල වසා දමා තිබු අතර විභාග පැවැත්විම සිදු නොවීය. මේ සියළු සිදුවීම් ලක්ෂ 12 ක් පමණ වන පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට දැඩි පීඩනයක් එල්ලකර ඇති අතර, මෙරට ද්විතීයක අධ්‍යාපනය දැවැන්ත අර්බුදයක් කරා යොමු කරමින් තිබේ.

අද වන විට සා.පෙ. විභාගයට පෙනී සිටින දරුවෙකුට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් අවුරුදු 21 දී උපාධියක් ලබා ගත හැකිය. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගැනීමේ වයස අවු. 26 කි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව වඩා තුන් ගුණයක් පමණ මේ වන විට දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා අනුබද්ධ ආයතනයන් හි ඉගෙනුම ලබයි. අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීමේ හැකියාවක් නොමැති සිසුන් බහුතරයක් සා.පෙ., උ.පෙ., උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් හි හිරවී සිටින විට පුද්ගලික විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. මෙම ආයතනයන් හි උගන්වනු ලබන්නේ ද, මේ වන විට පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අදාළ ක්‍රියාකාරකම්වලින් ඉවත්ව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්ම කොටසකි.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගුරුවරුන් 12,000 ක් කැමැත්ත පළ කර ඇති අතර ඔවුන්ට එක් උත්තර පත්‍රයක් වෙනුවෙන් රු. 175 ක මුදලක් ද, රු. 2000 ක දෛනික පැමිණීමේ දීමනාවක් ද යෝජනා වී ඇත. මෙම දීමනා ප්‍රමාණවත් නොවේ නම් ඒ පිළිබඳ, අධ්‍යාපන අමාත්‍යාංශය හා ගුරු නියෝජිතයින් පොදු එකඟතාවයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය ය.

1988 – 1994 සමයේ දී මෙරට විශ්වවිද්‍යාලයන්හි විභාග පැවැත්වීම හා ප්‍රතිඑල නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් දැවැන්ත විනාශයක් මෙරට අධ්‍යාපන පද්ධතියට සිදු විය. මාස තුනකට වැඩි කාලයක් දිග් ගැසුණු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රමාදය, විශ්වවිද්‍යාල දේශන වර්ජනය කිරීම, සා.පෙ. විභාගය සඳහා දින නියම කළ නොහැකිවීම නැවත එවැනිම අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

රටේ බදු ප්‍රතිත්තියට විරෝධය පළ කිරීමට විශ්වවිද්‍යා ආචාර්යවරුන්ට අයිතියක් ඇතත්, තමන්ගේ වෘත්තීය මත පදනම්ව සුවිශේෂ බදු සහන ලබා ගැනීමට රටේ ද්විතීය අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට හැකියාවක් නැත. අනෙක් අතට, රජය මේ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් මේ දක්වාම සිදු කිරීමට අපොහොසත්වී ඇත. පාසල් අධ්‍යාපන පද්ධතිය තුල 9000 කට වැඩි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර සමහර පාසල් ගුරුවරුන් නොමැතිකම නිසා සම්පූර්ණයෙන්ම වැසී යන තත්වයකට පත්වෙමින් ඇත.

රජයේ පාසල්, විභාගය හා විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින මෙම අර්බුදය රටේ ද්විතීයික අධ්‍යාපනය මුළුමනින්ම අවුල් කිරීමටත්, අත මිට ඇති පිරිස පුද්ගලික විශ්වවිද්‍යාල වෙතයොමු කිරීමටත් හේතු වී ඇත. රජය, වෘත්තීය සමිති සහ බලපෑම් කණ්ඩායම් මෙම තත්වය වෙනස් කර ලක්ෂ 12 කට වැඩි සා.පෙ., උසස් පෙල හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මැදිහත්විය යුතුව ඇත.

– Media unit

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශපාලනයේ දැවැන්ත පෙරළියක් . . .

Mon Apr 17 , 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x