ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ . . .

2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ආගමික සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වරදකරු කොට වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇපමත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (02) නියෝග කළේය

තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු උන්වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු කරනු ලැබූ ඉල්ලීමක් අද කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය කළේය.

එම ඉල්ලීම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු ඉදිරිපත් කළේය.

” ස්වාමීනි… වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට නියම කර තිබෙන වසර හතරක සිර දඬුවම බන්ධනාගාර රෙගුලාසි වලට අනුව වසර දෙකක් සහ මාස කීපයකින් අවසන් වීමට නියමිතයි. මෙවැනි අවස්ථාවක සානුකම්පිත ආකාරයෙන් කටයුතු කරමින් උන්වහන්සේට ඇප ලබාදීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. වර්තමානයේ අභියාචනාදීකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් පවතිනවා. එම නිසා අභියාචනා විභාගවලද ප්‍රමාදයක් මතුවී තිබෙනවා. සාමාන්‍යයෙන් වසර තුනක් හෝ හතරක් සිර දඬුවම් නියම වී සිටින  විත්තිකරුවන්ගේ අභියාචනා විභාග කිරීමට ඊටත් වඩා කාලයක් ගතවන තත්ත්වයක් පවතිනවා. එවැනි කාලයක් යම් විත්තිකරුවකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම යුක්ති සහගත නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ඇප පනත ප්‍රකාරව පුද්ගල නිදහස උතුම් කොට සැලකීය යුතුයි. එම නිසා ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට අධිකරණයට අභිමතය පැවරී තිබෙනවා. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයන් කිහිපයක්ද තිබෙනවා.” මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා උන්වහන්සේ ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා ” ස්වාමීනී… වර්තමානයේ අභියාචනාධිකරණයට වැඩි විනිසුරුවරු සංඛ්‍යාවක් පත් කර තිබෙනවා. එසේම අභියාචනා පෙත්සම් විභාගයත් කාර්යක්ෂම වී තිබෙනවා. එම නිසා අභියාචනා විභාගවල ප්‍රමාදයක් පවතින බවට විත්තිය විසින් ඉදිරිපත් කරන කරුණු ඇප ලබාදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සලකන්න බැහැ. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයක් පවතින බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළා. එහෙත් උන්වහන්සේට බන්ධනාගාර රෝහලේ දී ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ අසනීප තත්ත්වයක් තිබේදැයි පැහැදිලි කිරීමට විත්තියේ නීතිඥවරයා කටයුතු කළේ නැහැ. එම නිසා මෙම කරුණු සුවිශේෂ කරුණු ලෙස පිළිගන්න බැහැ.”යනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

” වරදකරුවන් සම්බන්ධයෙන් ඇප ප්‍රදානය කිරීමට ඇප පනත යටතේ අධිකරණයට හැකියාවක් තිබෙන බව විත්තිය ප්‍රකාශ කළා. එහෙත් ඇප පනතේ ප්‍රතිපාදන අදාළ වන්නේ සැකකරුවන්ට මිස වරදකරුවන්ට නොවේ.  අධිකරණය මගින් වරදකරු වූ පුද්ගලයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චිත තීන්දු ගණනාවකම සඳහන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවකුට ඇප ප්‍රධානය කිරීමේදී අදාළ වන්නේ සුවිශේෂ කරුණු පමණයි. මෙම නඩුකරයට අදාළව විත්තිය විසින් සුවිශේෂ කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනා නඩු ප්‍රමාදය සහ විත්තිකරුගේ රෝගී තත්ත්වය ඒ අතර ප්‍රධාන වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විනිශ්චිත නඩු තීන්දු ප්‍රකාරව අභියාචනා නඩු විභාග ප්‍රමාදය වරදකරුවකුට ඇපදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සැලකිය නොහැකි බව දක්වා තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ විත්තිකාර ස්වාමීන් වහන්සේට ඇප නියම කිරීමට තරම් සුවිශේෂ කරුණු අනාවරණය වන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා ඉන් අනතුරුව විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළේය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය පැවති අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළත් ඉන් පිටතත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් රැස්ව සිටියහ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලිත්‍රො ඉල්ලා ලාෆ් නඩු යයි . . .

Tue Apr 2 , 2024
ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි. අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට වුවද කටයුතු කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි. මෙවන විටත් ලිත්‍රො සමාගම ලාෆ් සමාගම් වෙත සම්බන්ධ කරගැනීමේ කටයුතු ක්‍රියාත්මක මෙන්ම පවතින බවත් ඒ පිළිබඳ අවශ්‍ය වුවහොත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x