වත්මන් ආණ්ඩුවෙන් පුරාවස්තු බේරා ගනිමු . . .

කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පලාත්හි පවතින පුරාවස්තු අද බේරා ගැනීමට සිදු වී ඇත්තේ බෙදුම්වාදින්ගෙන් හෝ අන්තවාදින්ගෙන් නොව වත්මන් ආණ්ඩුවෙන් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඔහු  මේ බව ප්‍රකාශකර සිටියේ පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පලාත්හි පවතින පුරාවස්තු අද අපට බේරා ගන්න සිදු වී තිබෙන්නේ බෙදුම්වාදින්ගෙන් වත් අන්තවාදින්ගෙන්වත් නොවේ. ආණ්ඩුවෙන්. ඒ නිසා ඉතිහාසය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඒත් තමන් මහදැනමුත්තා කියලා හිතාගෙන ඉන්න ජනාධිපතිවරයාගෙන් අපේ උරුමය රැක ගන්න අපි පහත දැක්වෙන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

පුරාවස්තු විනාශය විමර්ශනයට තේරීම් කාරක සභාවක්,

පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ලංකාවේ ඓතිහාසික උරුමයන් සාතිශය තිබෙන්නේ උතුරු සහ නැගෙනහිර පලාත්වල. සිරිල් මැතිව් ඇමතිතුමා විසින් යුනෙස්කෝ සංවිධානයට යැවූ ආයාචනයේ 1983 වසර වන විට හඳුනා ගෙන තිබුණු උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන 276ක් දැක්වෙනවා. අද වන විට මේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු අද විනාශ වෙන්නේ බෙදුම්වාදින් සහ අන්තවාදින් අතින් විතරක් නොවේ. ආණ්ඩුවේ නිලධාරින් අකර්මන්‍ය වීමෙන් සහ අධිකරණ වලට බොරු වාර්තා සැපයීමෙන් ඒවාට සහය දක්වා තිබෙනවා. ඒ නිසා උතුරු සහ නැගෙනහිර පලාත් වල පුරාවස්තු විනාශය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අපි ජූනි 19දා ගරු කතානායකතුමාට යෝජනාවක් භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාවට මට අමතරව හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහචාර්ය චන්න ජයසුමන  සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අත්සන් කර තිබෙනවා.

දෙමළ සංධානයේ බොරු හෙලි කරන්න පිවිතුරු හෙළ උරුමය කුරුන්දි විහාරයට,

දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් කුරුන්දි විහාරය ගැන ජනාධිපතිතුමාට කිව්වේ පට්ටපල් බොරු. හොයන්නේ බලන්නේ නැතිව දේවභාෂිතය වගේ ජනාධිපති ඒවා විශ්වාස කළා. ඒ වගේම සිය රාජකාරි ඉටු කරන පුරාවිද්‍යා, වනජීවි සහ වන සංරක්ෂණ නිලධාරින්ට මේ බෙදුම්වාදි මන්ත්‍රිවරුන්ගෙන් බාධා එල්ල වන බවට අපට පැමිණිලි ලැබිලා තිබෙනවා. ඒ නිසා දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශ බොරු කියලා ඔප්පු කරන්න පිවිතුරු හෙළ උරුමයේ නියෝජිත කණ්ඩායමක් 2023 ජූනි 21 දින කුරුන්දි විහාරයට නිරීක්ෂණ චාරිකාවක් යෑමට තීරණය කලා. ඒ ගමනට බාධා කරන්න දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ට බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) වගන්තියෙන් ලංකාව තුල යෑම් ඊම් නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිලි අරගෙන තිබෙනවා. අපි කුරුන්දි විහාරයට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඒ මූලික අයිතිවාසිකම භුක්ති විඳින්න.

අපි නිහඬ බලා සිටියොත් මේ ජනාධිපතිවරයා රාසමානික්කම් මන්ත්‍රිවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කරලා සුමන්තිරන් මන්ත්‍රිවරයාව සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස පත් කරන්නත් ඉඩ තිබෙනවා.

ජනපතිගෙන් ලෝක උරුමයන් බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලීමක්,

වෙන රටවල ජාතික උරුමයන් රැක දෙන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන්. නමුත් අපේ රටේ ආණ්ඩුව තමයි ජාතික උරුමයන් විනාශ කරන්න කුමන්ත්‍රණය කරන්නේ. උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු විනාශයන් වැඩියෙන්ම සිදු වුණේ රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර දැරූ 2001-2004 සහ 2015-2019 කාල වකවානු තුල දී. ඒ අනුව එතුමා නායකත්වය දරන ආණ්ඩුවකට පුරාවස්තු රකින්නට බාරදීම නරියට කුකුල්ළු බාරදුන්නා හා සමානයි කියලයි අපි දකින්නේ. ඒ නිසා අපේම ආණ්ඩුවෙන් ලෝක උරුමයන් වන පුරාවස්තු බේරා දෙන්නැයි ලෝක උරුමයන් රැක ගැනීමට කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයෙන් ලිඛිතව ඉල්ලා සිටීමටත් ඒ ගැන සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර, නැගෙනහිර ‍කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් යන අය සහභාගී වූහ.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් දකුණට රතු එළියක් . . .

Sat Jun 17 , 2023
කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x