AI තාක්ෂණයට ගැළපෙන ලෙස අධ්‍යාපනය වෙනස් කරන්න පියවර . . .

පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බවත් පහ ශ්‍රේණිය පසු කර තරගයෙන් බැහර වී බලන විට එම විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාව ද මොට වී ඇති බවත් මේ ඛේදජනක තත්වයෙන් මිදීම සඳහා පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහ වහා ගමන් කළ යුතු ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

විද්‍යාව, තාක්ෂණය, ඉංජේනේරු විෂය, ගණිතය හා සෞන්දර්යාත්මක විෂය යන මනා විෂය සංකලනයකින් යුක්ත ව දරුවන්ගේ නිපුණතා වර්ධක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ව ලොව දියුණු රටවල භාවිත කරන නව STEAM අධ්‍යාපන සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමේ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

දිවයින පුරා පිහිටි සියලු පාසල් නියෝජනය වන පරිදි විවිධ ජාතීන්ට, ආගම්වලට අයත් උසස් පෙළ විද්‍යා, ගණිත විෂය ධාරා හදාරන සිසුන් පන්සිය දෙනකු සහභාගී කරගනිමින් පැවති මෙම වැඩමුළුවේ දී සිසුන් විවිධ තාක්ෂණික හා අධ්‍යයන ආයතනවලට යොමු කර සෛද්ධාන්තික විෂය දැනුම ප්‍රායෝගිකත්වය හා මුසු කර ලබා දීමට පියවර ගත් බවත් එහි දී භාෂා, ජාති වැනි කිසි දු වාර්ගික බාහිර වෙනසකින් තොර ව එක ම අධ්‍යයන අරමුණක සිසුන් සාර්ථක ව රැඳවීම ප්‍රධාන අපේක්ෂාවක් වූ බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මෙම STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන මගින් ඉදිරියේ දී මෙරට පාසල්වල ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳ පූර්ව සමීක්ෂණයක් සිදු කෙරෙනු බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමඟම ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින් ම ඉවත් වන බවත් වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා ඉහළ අභියෝගයකට ලක් වන බවත් ඒ තත්වයට මුහුණ දීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව මෙරට අනාගත පරපුරට ලබා දීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේදයකට අධ්‍යාපන පද්ධතිය අනුගත කරවීමේ පෙර පුහුණුවක් වශයෙන් මෙම වැඩමුළුව හැඳින්විය හැකි බවත් සඳහන් කළේ ය.

මෙය කිසි සේත් උපකාරක පන්ති මගින් සපුරාගත හැකි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක් නොවන බවත් එය බහුවිධ කුසලතා පූර්ණ නිපුණතා පාදක ක්‍රමවේදයක් බවත් හෙතෙම පැවසී ය.

ඔක්තෝබර් 12, 13 සහ 14 යන තෙදින පුරා පැවති මෙම වැඩමුළුවේ දී සිසුන්ට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා බයෝ තාක්ෂණ ආයතනය, හරිත සරසවිය, කොළඹ වරාය නගරය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය වැනි ආයතන පරිශ්‍රයන්හි සහභාගීත්ව නිරීක්ෂණ අද්දැකීම් ප්‍රායෝගික ව ලැබීමේ අවස්ථා උදා වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම හා ජාතික අධ්‍යාපන ආයතනය එක් ව සංවිධාන කරන ලද මෙම වැඩමුළුවට ගුරු භවතුන් 50 දෙනකු ද සහභාගි වී ඇති අතර අනුග්‍රහක ආයතනවල මූල්‍ය හා අනෙකුත් අනුග්‍රහයන් ලැබී ඇති බැවින් රජයේ වියදමකින් තොර ව වැඩසටහන සාර්ථක ව පවත්වා අවසන් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

උසස් අධ්‍යාපන ආයතන ඇතුළු අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම පැවතීම මේ වැඩමුළුව සාර්ථක ව පවත්වා අවසන් කිරීමට මනා පිටු බලයක් වූ බව ද පැවසූ අමාත්‍යවරයා දිවයිනේ නන් දෙසින් පැමිණ වැඩමුළුවට සහභාගි වූ දරුවන් සිය නිවෙස් කරා ප්‍රවේශමෙන් යන තෙක් ම අධීක්ෂණ මෙහෙයවීම් කටයුතු සිදු කෙරෙන බව ද වැඩිදුරටත් පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රෝහල්වල එක්ස් කිරණ පරීක්ෂණ නවතී . . .

Mon Oct 16 , 2023
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙරට රෝහල් හයක එක්ස් කිරණ පරීක්ෂණ නතර කර ඇති බව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එක්ස් කිරණ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. කිරිබත්ගොඩ මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, ඇහැළියගොඩ මූලික රෝහල, බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල සහ තවත් රෝහල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x