ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා . . .

ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

‘2024 ජනවාරි 1 දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටී තිබෙනවා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බවයි. ඒක ඇත්තක් ද?

ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටෙන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් මත. පළමු හේතුව තමයි අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි වෙලා ඩොලර් සැපයුම ඉහළ නැගීමෙන්. දෙවන හේතුව තමයි ආනයන අඩු වෙලා ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. දැන් ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ? 2024 පෙබරවාරි මාසයෙන් අවසන් වුණු වසර තුල අපනයන ආදායම වැඩි වෙලා තිබෙන්නේ 1%යි. නමුත් ආනයන වියදම 18%කින් අඩු වෙලා. ආනයන අඩු වෙනවා කියන්නේ අපේ පරිභෝජනය අඩු වෙලා ආර්ථිකය හැකිලෙමින් තිබෙනවා කියන එකයි.

ආනයන අඩු වෙන විට පරිභෝජන භාණ්ඩ නම් අඩු වෙන්නේ දේශීය නිෂ්පාදන වැඩි වෙලා ඇති කියලා හිතලා ඒක හොඳයි කියන්න පුළුවන්. නමුත් ගිය වසරට සාපේක්ෂව අමුද්‍රව්‍ය ආනයනය ඩොලර් බිලියන තුනකින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 2.6කින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ කම්හල් වැසී යමින් පවතින බවයි. ඇයි අපට මෙහෙම වුණේ?

ආණ්ඩුව වසර ගණනාවක් පුරා අඩු මිලට විදුලිය සහ තෙල් විකිණීමෙන් සිදු වුණු පාඩුව අය කර ගන්න පසුගිය වසර තුල දැවැන්ත ලෙස වගේම ඉතාම අසාධාරණ විධියට විදුලි බිල සහ තෙල් මිල වැඩි කිරීම නිසා කම්හල් හිමියන්ට මුලින්ම මුහුණ දෙන්න වුණේ රෝල ගෙනි යන්න අතේ සල්ලි නැති වීමයි. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවා නම් කාරක ප්‍රාග්ධනය හිඟ වීම. ඒ වගේම මේ වගේ දැවැන්ත බිල් ගෙවලා භාණ්ඩයක් හැදුවාම ඒවායේ නිෂ්පාදන වියදම හරිම ඉහලයි. ඒ නිසා අපේ භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළඳපොලේ තරග කරන්න බැරි වෙලා විකිණෙන්නේ නැතිව යනවා. ඒ නිසා කර්මාන්ත වැසී යනවා.

ඉහත තත්වය යටතේ ඩොලරය අගය පහත වැටීමෙන් පෙනී යන්නේ ආර්ථිකය සවිමත් වෙනවා කියන එක නොවේ. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය බලවත් කඩා වැටීමකට ලක් වෙලා කියන එකයි’

  • Media unit

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් යළි කැඳවයි . . .

Mon Mar 25 , 2024
ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට පිළියමක් වශයෙන් විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් තුන් වසරක කාලයක් සඳහා බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. හය ශ්‍රේණියේ සිට එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත අතර මේ වන විට එම අවශ්‍යතාව කෙසේද යන්න සම්බන්ධයෙන් අමාත්‍යාංශය සියලුම පළාත්වලින් තොරතුරු කැඳවා ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x