දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල අනිද්දා ජනතා අයිතියට . . .

දකුණු ආසියාවේ විශාලම මාතෘ රෝහල ලෙසින් ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල අනිද්දා (මාර්තු 27) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කිරීමට නියමිත ය.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් හයසියකින් හා ශල්‍යාගාර හයකින් සමන්විත යැයි ද හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලු ම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්ත යැයිද රෝහල් අධ්‍යක්ෂ බී. විමලසේන පැවසුවේ ය.

මේ සඳහා ජර්මන් රජය විසින් ලබාදී ඇති ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි (රුපියල් කෝටි 357කි).

මුල් අවස්ථාවේ රෝහල ඉදිකිරීම සඳහා පර්චස් අටසියයක් ලැබුණු අතර පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලැබීම නිසා රෝහල් භූමියේ වත්මන් ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

රෝහල විවෘත කිරීමෙන් පසු කරාපිටිය උපනගර සංවර්ධන කටයුතුද ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

මෙම රෝහල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් නිවාඩුවක් ගතකිරීම සඳහා 2004 දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණි අවස්ථාවේ දකුණු පළාතේ විශාලම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සුනාමියෙන් සිදුවූ හානිය දැක අලුතෙන් මාතෘ රෝහලක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළ රුපියල් කෝටි 300ක මුදලකිනි.

ඒ අනුව, එවක අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක 2007 වසරේ මෙම නව රෝහලට මුල්ගල් තැබුවේ ය.

එහෙත් එහි ඉදිකිරීම් භාර දෙනු ලැබූ රාජ්‍ය නොවන සංවිධානය එය අතරමග නතරකර දමා ලංකාවෙන් ද පිටව යාම නිසා එම භූමිය පසුව මැසි මදුරුවන්ගේ රජ දහනක් වූ අතර විශාල පරිසර හානි සිදුවන ස්ථානයක් බවට ද පත්විය.

හෙල්මුට් කොල් විසින් පරිත්‍යාගය කරන ලද මුදල පිළිබඳව ද ඉන්පසු කිසිදු තොරතුරක් නොවිය.

මේ අතර, පසුගිය රජයේ මැදිහත්වීමෙන් රෝහලේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ජර්මනියෙන් යුරෝ මිලියන විසි පහක් ලබා ගැනීම සඳහා 2015 වසරේදී ගිවිසුම් අස්සන් කරන ලදී.

නව රෝහල විවෘත කිරීමෙන් පසු මහමෝදර මාතෘ රෝහල එම ස්ථානයෙන් ඉවත් කරනු ඇත.

  • ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්
  • අහංගම – එස්. දීයගහගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවයක . . .

Mon Mar 25 , 2024
කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය. කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x