වයඹ විදුහල්පති මාරුවීම් නවතයි . . .

 

ලබන මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වයඹ පළාත් පාසල් එකසිය දාහතරක විදුහල්පති සේවයේ ස්ථාන මාරු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් නතර කරනු ලැබ ඇත. නීත්‍යනුකූල මෙම ස්ථාන මාරු නතර කිරීමට විරුද්ධව ලබන පළමු වැනිදා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට විදුහල්පති සංගම් පහක් තීරණය කර තිබේ.

විදුහල්පතිවරුන් මෙලෙස ස්ථාන මාරු කිරීමට සැලසුම් කර තිබුණේ පළාත් මාරු මණ්ඩලයේ නිර්දේශ මත ය. ස්ථාන මාරු නිර්දේශ කිරීමේ පදනම වූයේ එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවයකර තිබීම ය. මේ අතරින් එකම පාසලේ වැඩිම සේවා කාලයක් සහිත විදුහල්පතිවරියන් සිටින්නේ කුලියාපිටිය කලාපයේය. ගොඩකුරුගම පාසලේ විදුහල්පතිවරියගේ සේවා කාලය වසර විසිහතරක් වන අතර විශාඛා විදුහලේ විදුහල්පතිවරියගේ සේවා කාලය වසර දාහතකි. මෙම ස්ථාන මාරු සඳහා පළාත් අධ්‍යාපන බලධාරීන් එකඟතාව පළකර තිබුණේ ද ඊට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර තිබූ නිර්දේශයක් හේතුවෙනි. දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලේ සේවය කරන විදුහල්පතිවරුන් ස්ථාන මාරු නොකිරීමට එරෙහිව ලංකා විදුහල්පති සංගමය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලිකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් පසු ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට නියෝග කරනු ලැබිණි.

ඉන් පසු පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ එකඟතාව මත මාරු මණ්ඩලයක් පිහිටුවන ලදි. ලංකා විදුහල්පති සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය, වෘත්තීයවේදී විදුහල්පති සංගමය සහ විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය මෙම මාරු මණ්ඩලයේ සාමාජිකත්වය දැරීය. එලෙස නීත්‍යනුකූලව සකස් කළ ලේඛනය නතර කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අවශ්‍යතාවක් යැයි ද ඊට දැඩි විරෝධය පළ කරන බව ද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු පැවසීය. ඊට එරෙහිව පළමු වැනිදා පවත්වන සත්‍යග්‍රහයට මාරු මණ්ඩලයට සහභාගි වූ විදුහල්පති සංගම් පහම එක්වන බවත් ලේකම්වරයා කීවේය. මේ සම්බන්ධයෙන් විමසීමට ආණ්ඩුකාරවරයා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මියගිය පුද්ගලයකුගේ පෙණහල්ලේ දතක් . . .

Thu Mar 28 , 2024
බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරිශාරගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමු වූ පුවතක් ඊයේ (27 වැනිදා) වාර්තා විය. මෙම පුද්ගලයා කාලයක සිට නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇත. ඔහු මරණයට පත්ව තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකෙරිණි. බලන්ගොඩ මූලික රෝහලේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x