සා පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල අවූල් ජාලයක් . . .

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්කරුවන් දසදහසකට අධික පිරිසකට තමන් නොඉල්ලූ විෂයයක් සඳහන් ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එමෙන් ම එම බොහෝ ප්‍රවේශ පත්‍රවල අයැදුම්කරු පෙනී සිටින මාධ්‍ය ද වෙනස් කර මුද්‍රණය කර තිබෙන බව ද විදුහල්පතිවරු පවසති. ප්‍රවේශ පත්‍ර පරිගණක ගත කිරීමේ දී ඇති වූ දෝෂ සහිත තත්ත්වයන් මීට හේතු වී තිබේ.

මෙම දෝෂ සහිත තත්ත්වය ඇති වී ඇත්තේ දෙවැනි වර විභාගයට පෙනී සිටින පෞද්ගලික අයැදුම්කරුවන්ට ය. ගණිතය විෂයය පමණක් ඉල්ලුම් කළ අයැදුම්කරුවන්ට විද්‍යාව විෂයය ද මේ අයුරින් ප්‍රවේශ පත්‍රයට ඇතුළත්ව තිබේ. විභාග කාර්ය මණ්ඩලය නිශ්චය කෙරෙන්නේ ද මෙම පරිගණක දත්ත පදනම් කර ගෙන හෙයින් අයැදුම්කරුවන් නොමැතිව වුව ශාලාධිපති හා නිරීක්ෂක යන කාර්ය මණ්ඩල පත් කිරීමට සිදු ව ඇතැයි ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේය.

උද්ගතව ඇති තත්ත්වය මත ඇතැම් විභාග ශාලා සඳහා අමතර ප්‍රශ්න පත්‍ර යැවීමට සිදු වනු ඇති බවත් ඇතැම් ශාලාවල ප්‍රශ්න පත්‍ර ඉතිරි විය හැකි බවත් කී එම ආරංචි මාර්ග අවශ්‍ය වන අමතර ප්‍රශ්න පත්‍ර යළි මුද්‍රණය කර තිබෙන බව ද පැවසීය.

දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් කිසිදු සැලකිල්ලකින් තොරව ස්ථාන මාරු කිරීම ද මෙම ගැටලු සහගත තත්ත්වයට හේතු වී තිබේ. පාසල් විභාග සංවිධාන භාරව පමණක් අලුතින් නිලධාරීන් තිදෙනෙක් පත් කර ඇත. විභාගය අවසන් වන තෙක් හෝ කලින් සිටි නිලධාරීන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට හැකි වූයේ නම් මෙවන් ගැටලු සහගත තත්ත්වයක් ඇති නොවන බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවර විභාගය සඳහා හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නව දෙනෙක් අයදුම් කර තිබෙන අතර ඉන් හැට පන් දහස් තුන්සිය තිස් එක් දෙනෙක් පෞද්ගලික අයදුම්කරුවෝ ය. විභාග මධ්‍යස්ථාන 3527ක දී විභාගය පැවැත්වේ. මෙම මස 6 වැනිදා ආරම්භ කෙරෙන විභාගය 15 වැනිදා අවසන් වේ.

මේ සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි . . .

Fri May 3 , 2024
මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු විය. කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද හොබවා තිබේ. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. 1944 ඔක්තෝම්බර් 20 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x