හදවත නැවතුණු ගැබිනි මවත් දරුවාත් බේරාගත් විස්මිත සැත්කම . . .

හදවත අකර්මණ්‍ය වූ ගැබිනි මවකට පැය දෙකක කාලයක් කෘත්‍රිම හෘද ස්පන්දනය ලබා දෙමින් කළ සිසේරියන් සැත්කමකින් පසු බිළිඳා සහ මව බේරා ගැනීමට හලාවත මහ රෝහලේ කාර්ය මණ්ඩලය සමත්ව තිබේ. මේ මව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති අතර ඇගේ දරු ගැබට සති තිස්දෙකක කාලයක් ගතව තිබී ඇත.

මව හලාවත රෝහලට ඇතුළත් කර ඇත්තේ ගල්මුරුව පර්යන්ත රෝහලේ සිට පසුගිය 20 වන දා රාත්‍රි 11.25ට පමණ ය. වහා ක්‍රියාත්මක වූ හලාවත මහ රෝහලේ කාර්ය මණ්ඩලය, හලාවත මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා දැනුවත් කිරීමෙන් පසු විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් ශල්‍යාගාරයට ඇතුළත් කර ඇති නමුත් මවගේ හදවත අකර්මණ්‍ය වී තිබේ. ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ කාර්ය මණ්ඩලය මවට කෘත්‍රිම හෘද ස්පන්දනය ලබා දෙමින් සිසේරියන් සැත්කම කර දරුවා ගැනීමට ක්‍රියාකර ඇත. මවගේ හදවත යථා තත්ත්වයට පත්වීමට පැය දෙකක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ වන තෙක් අඛණ්ඩව මවට කෘත්‍රිම ස්පන්ධනය ලබා දීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ වනවිට මව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර ඇති අතර බිළිඳිය හලාවත මහා රෝහලේ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබයි. මේ පිළිබඳව අදහස් දැක් වූ හලාවත මහා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා පැවසුවේ තම වසර විසිපහක වෛද්‍ය ජීවිතයේ මෙවැනි අත්දැකීමක් නොමැති බව ය. වෛද්‍යවරයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ කැපවීම මත මේ ජීවිත දෙක බේරා ගැනීමට හැකි වූ බවද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා වැඩිදුරට ත් පැවසීය. මෙහිදී කරුණු දැක්වූ හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා පැවසුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල ලෙස මේ වන විට හලාවත මහ රෝහල සෑම ක්ෂේත්‍රයකින් ම ඉදිරියට පැමිණ ඇති බව ය.

මේ මව කොළඹට මාරු කර යැවීමට හේතු වූයේ දැඩි අවධානයක් මේ මව සඳහා ලබා ගැනීමට බව ද පැවැසීය. බිළිඳියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි වැඩිදුරට ත් පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රංගනවේදී ආනන්ද වීරකෝන් අභාවප්‍රාප්තවේ . . .

Sat Sep 24 , 2022
“ඕලු නෙළුම් නෙරිය රඟාලා” සිසිර සේනාරත්නයන්ගේ ගීතයට ඔරුවක පාවී යමින් එදා “රේඛාව” චිත්‍රපටියේ විශිෂ්ට රංගනයක නිරත වූ (නිමල්ගේ චරිතය) ප්‍රවීණ රංගනවේදී ආනන්ද වීරකෝන් ඊයේ (23 දා) අභාවප්‍රාප්ත විය. චිත්‍රාගාර දර්ශන තුළ සිරවී තිබූ සිංහල චිත්‍රපට කැමරාව එළිමහන් දර්ශන තලයට ගෙන යමින් මෙරට සිනමාවේ නව පුනරුදයක ඇරඹුම සටහන් කළ දිවංගත ආචාර්ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x