මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස දියත උයනෙන් මගී බෝට්ටු සේවාවක් . . .

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා (23) ආරම්භ කරනු ලැබීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ මෙම මගී බෝට්ටු සේවාව සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව බවයි. සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන බැවින් මෙය සියයට සියයක්ම පරිසර හිතකාමී බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයයට හේතුවක් වන බවද සඳහන් කළේය. සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමෙන්  වර්තමානයේ රට මුහුණ දෙන ඉන්ධන ගැටළුවට මෙන්ම විදුලි අර්බුදයටත් විසදුමක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන බැවින් මෙම බෝට්ටු ධාවනයේදී ශබ්දයක් පැන නොනගී. එමෙන්ම ඉන්ධන වැයවීමක්ද සිදු නොවේ. ජලඦ සත්වයන්ට මෙන්ම දියත උයන ආශ්‍රිතව සැරිසරන කුරුල්ලන්ගේ ජීවන චක්‍රයට බධාවක් ඇතිවන්නේ ද නැත.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු  මගින් විනාඩි 30 ක් ඇතුළත  ලඟාවීමට හැකියාව ඇත. එමෙන්ම බත්තරමුල්ල සිට  වැල්ලවත්ත දක්වා  එක් පුද්ගලයකුගේ රුපියල් 200/= ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300/= ක මුදලක් අය කෙරේ. දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.

එමෙන්ම බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්ව විද්‍යාලය, 176, බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවීමට හැකියාව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස් ශානිකා රණසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධික වර්‍ෂාවත් සමග පහත්බිම් රැසක් ජලයෙන් යටවේ . . .

Sun Sep 25 , 2022
බගවන්තලාව ප්‍රදේශයට (25) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ ක්‍රිඩාංගණය සහ අවට පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇත. අධික වර්ෂාව හේතුවෙන් හැටන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x