රනිල් නීති පීඨයට ඇතුළුවේ . . .

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට  (10) සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවට සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙස වීම ද විශේෂත්වයකි.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමට සහ ඒ සඳහා ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

යටිතල පහසුකම් සංවර්ධනයට වඩා ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුළින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට කොළඹ විශ්වවිද්‍යාලය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එසේ වුවහොත් විදේශීය සිසුන් ද මෙරටට ගෙන්වා ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. වර්තමානයේ තරම් පහසුකම් නොතිබූ අතීතයේ දී පවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ මට්ටමක පැවති බව ද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කළහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඉදිකිරීමේ සැලැස්මේ ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු විමසු අතර, ඒ සඳහා අක්කර හතරක ප්‍රදේශයක් වෙන් කර ඇති බව අනාවරණය කෙරිණි. උත්සවයට සහභාගී වු ජනාධිපති රනිල් වික්‍රමසිංහව උපකුලපති, නීති පීඨයේ පීඨාධිපති සහ නීති පීඨ නීති සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිස විසින් විසින් පිළිගනු ලැබිණ.

ජනාධිපතිවරයා මෙහිදී සිසුන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට මෙන්ම සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, නීතීඥ ශිරාල් ලක්තිලක ඇතුළු ආදි විද්‍යාර්ථයින් දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජිත් යළිත් පක්ෂ නායකත්වයට . . .

Sun Dec 11 , 2022
සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යළිත් එහි නායකයා ලෙස  ඒකමතිකව තේරී පත්ව තිබේ. මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කර ඇත. රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්ව තිබේ. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x