අල්ලස් නඩුවලින් 50%ක් කොමිසම විසින්ම ඉල්ලා අස්කරගෙන . . .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2022 වසරේ පැවරූ නඩුවලින් බාගයක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වේ.

ඒ අනුව 2022 වසරේ පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් නඩු 89ක් පවරා ඇති අතර ඉන් නඩු 45ක්ම පසුව ඉවත්කරගෙන තිබේ. එලෙස ඉල්ලා අස්කරගත් නඩුවලින් යළි පවරා ඇත්තේ නඩු විස්සක් පමණක් බවද එම වාර්තාවේ සඳහන්වේ.

මේ අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරැදිකරුවන්වී තිබූ බවත් වැරදිකරුවන්වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69ක් අවසන් කර තිබූ නමුත් ඉන් නඩු 40ක් පසුව ඉල්ලා අස් කරගෙන ඇත. එය එම වසරේ මුළු නඩු ප්‍රමාණයෙන් 58%ක ප්‍රතිශතයකි.

මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපි ගොනු 1,508ක් පැවතුණු බවත් ඉන් ලිපි ගොනු 489ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත් මෙම විගණන වාර්තාවේ දැක්වේ.

අවසන් නොකළ ලිපි ගොනු 926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 දින තෙක්ම පැවතුණු නමුත් ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බවද විගණන නිලධාරීහු සඳහන් කරති.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර අවුරුදු තුන හමාරක් පමණ ගත වී ඇතත් එහි සඳහන් කාර්යයන් 27න් ක්‍රියාත්මක කර ඇත්තේ කාර්යයන් 11ක් පමණක් බවද මෙම නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද ද්විතීක මට්ටමේ පුරප්පාඩු 158ක්ද ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 56ක්ද විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15ක්ද පසුගිය වසර වනවිට පැවති බව විගණන කාර්යාලය මෙම නවතම විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙලෙස ඉල්ලා අස්කරගත් අල්ලස් නඩු අතර මෙරට ආන්දෝලනයට තුඩු දුන්, විශේෂයෙන් දේශපාලකයන්ට සම්බන්ධ නඩුද තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වලාන පොලිස් ලොක්කා මාරු කරයි . . .

Sat Sep 23 , 2023
වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද මහා පරිමාණ වාහන වංචා රැසක තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලද පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරු කර තිබේ. සේවා අවශ්‍යතා මත බව පවසමින් මෙම සහකාර පොලිස් අධිකාරිවරයා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත. පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x