රක්ෂිතවල අක්කර ලක්ෂ 3ක් කෝටිපතියන්ට බෙදලා . . .

දිවයින පුරා වන රක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන්  ලක්ෂ තිස් දෙදහසක් කෝටිපති ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් ඇතුළු  විවිධ තරාතිරම්වල  පිරිස් සඳහා වගා කටයුතු ඇතුළු නොයෙකුත්  ව්‍යාපෘති  වෙනුවෙන් මේදක්වා නිදහස් කර ඇතැයි  තොරතුරු අනාවරණයවී ඇති බව  පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

වන රක්ෂිතවල ඉඩම් මෙලෙස විවිධ පුද්ගලයන්ගේ මනදොළ සැපිරීම සඳහා මෙලෙස  නිදහස් කිරීමෙන්  රටේ පරිසරයට බරපතළ  තර්ජනයක් ඇතිවන  බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසීය.

මේ අතර 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි මරණ 1967ක් සිදුවී ඇති අතර අලින්ගේ පහරදීම හේතුවෙන් පුද්ගලයන් 667 දෙනකු  මරුමුවට පත්ව ඇතැයිද  එම කාරක සභාවේදී තොරතුරු හෙළිවිය.

මෙම කාලයේ අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 12කට වැඩි බව කාරක සභාව පවසයි.

මේ  වසරේ පමණක් අලි මරණ 273 ක් සිදුව ඇතැයිද  මෙහිදී සඳහන් විය.

පරිසර ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

අලින්ගේ ශරීරවල ඇති වෙඩි උණ්ඩ ගැන විපරමක් කළහොත් එම වෙඩි උණ්ඩවලින් සියයට හැටක්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බව හුස්ම සංවිධානයේ නියෝජිතයෝ කාරක සභාවට පෙන්වා දුන්හ.

හක්ක පටස්, විදුලිය දැමීම වැනි හේතු මත සිදුවන අලි මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට  නීතියක් නැතැයි පරිසර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් නීති කෙටුම්පතක් සකස් කර දෙන ලෙස සභාපති අජිත් අජිත් මාන්නප්පෙරුම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කලාවැව රක්ෂිතය මේ දක්වාම රක්ෂිතයක් ලෙස ගැසට් කර නැතැයි පරිසර නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම ගැසට්ටුව ඉදිරියට ගැනීමට කොපමණ උත්සහ ගත්තත් එය හමස් පෙට්ටියට යන බවද ඔවුහු සඳහන් කළහ.

කලාවැව රක්ෂිතය අලි මරණ රැසක් සිදුවන කලාපයක් ලෙස හඳුනාගෙන ඇතැයි මෙහිදී තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්  හෙට(10  )  අගහරුවාදා  එම ආංශික අධික්ෂණ අධික්ෂණ කාරක සභාවට  නැවතත් කැඳවීමට නියමිතය.

දුම්රිය මාර්ගයේ අලි ඇතුන් මිය යන්නේ එකම කලාපයක බවත් අවුරුදු ගණනාවක් ගත වුවද අලි ගැටළු පවතින එම කි.මීටර් 7-8  ප්‍රදේශය හඳුනාගෙන  අලි ඇතුන්ගේ ආරක්ෂාවට ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත්වී ඇති බවත් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව හොඳම විද්‍යාඥ ලයිස්තුවට මෙවරත් ලංකාවෙන් 35ක් . . .

Mon Oct 9 , 2023
මෙම  වසරේ (2023) ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට (සියයට 2 අතරට)  ශ්‍රී ලාංකික  විද්‍යාඥයෝ 35 දෙනෙක්ද  ඇතුළත්ව සිටිති. මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසිනි. එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළි දක්වනු ලැබීය. මෙම නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව ඉහළම විද්‍යාඥයන් අතරට  තේරී සිටින්නේ  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x