ලංකාවේ වෛද්‍ය ඉතිහාසය අලුත් කළ විස්මිත සැත්කම . . .

පූර්ණ නිර්වින්දනයක් නොකර අර්ධ නිද්‍රාවට පත් කළ රෝගියෙකුගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් කරන අතරතුර රෝගියා සියතින් නෙළුම් මලක් සිතුවමට නැගූ විස්මිත සිදුවීමක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.

මෙම විස්මිත සැත්කම කර තිබෙන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසිනි. ඒ ඉකුත් 9 වන දා ය. රෝගියා පූර්ණ නිර්වින්දන තත්ත්වයට පත් නොකර අවම නිද්‍රාශීලී තත්ත්වයේ තබා මෙම විස්මිත සැත්කම කර තිබේ.

එය සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය යි. රජයේ රෝහලක මෙවැනි සැත්කමක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පළමු වරට යි.

සැත්කමට භාජනය වූ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන සමන් ජයසිංහ නමැති මූර්ති ශිල්පියා සති කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළුවී ඇත්තේ හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ය.

ඔහු බුදුපිළිම නෙළීමේ හා විහාරස්ථානවල චිත්‍ර ඇඳීමේ නිරතව සිටින දක්ෂ මූර්ති හා චිත්‍ර ශිල්පියෙකි.

රෝග පරීක්ෂා කිහිපයකින් අනාවරණය වූයේ ඔහුගේ මොළයේ වම්පස ගෙඩියක් ඇති බව ත් එය ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු බව ත් ය. ඒ අනුව ඉකුත් 9 වන දා සැත්කම ඇරඹිණි.

මෙම විස්මිත සැත්කම කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියෙකු වන විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහාන් පාරිස් මෙසේ කීවේය.

“මේ රෝගියාගේ මොළයේ ගෙඩිය පිහිටා තිබුණේ ඔහුගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයේ ක්‍රියාකාරකම් පාලනය කෙරෙන ප්‍රදේශයේයි. මේක බරපතළ සැත්කමක්. සාමාන්‍යයෙන් මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කෙරෙන්නේ රෝගියා සම්පූර්ණයෙන් ම නිර්වින්දනය කිරීමෙන් පසුවයි.

එහෙත් අපි තීරණය කළා ශල්‍යකර්මයේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකර වේදනා නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයේ රෝගියා තබා සැත්කම කරන්නට. සැත්කම සිදු කෙරෙන අතරතුර වෛද්‍යවරු රෝගියා සමග කතාබහ කරමින් ඔහුගේ මතකය පරීක්ෂා කරමින්, ඔහුගේ දකුණු අත හා දකුණු පාදය චලනය කරමින් සිටියා. මේ සැත්කමට පැය හතරහමාරක් ගතවුණා. ඔහුට සැත්කමින් පසු ජීවන වෘත්තියේ යෙදීමට හැකියාව ඇත්දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණා. ඒ නිසා තමයි චිත්‍රයක් අඳින්නට යෝජනා කළේ. ඇත්තට ම එහිදී ඉතා විස්මයජනක සිදුවීම වූයේ සැත්කම සිදුවන අතරතුර රෝගියා නෙළුම් මලක් ඉතා අලංකාර ලෙස සිතුවම් කිරීම යි.

වෛද්‍ය ඉතිහාසයේ ශල්‍යකර්මයක් අතරතුර මෙවැනි සිදුවීමක් මීට පෙර සිදුවී නැතිව ඇති බව අපේ විශ්වාසයයි.

ඇත්තට ම ඒ අත්දැකීමෙන් අපේ කණ්ඩායම විස්මයට පත්වුණා. රෝගියා සැත්කමින් පසු එක් දිනක් දැඩි සත්කාර ඒකකයේ තබාගෙන පසුව දා සාමාන්‍ය වාට්ටුවට දැම්මා. එදින සවස ගෙදර යැව්වා. මේ සැත්කමත් වාර්තාගත එකක්. මෙහි ගෞරවය විශේෂඥ වෛද්‍යවරුන්ට වගේ ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට වගේ ම සැත්කමට සහාය දැක්වූ හෙද හෙදියන්, සුළු සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලයටම ලැබිය යුතු යි. සම්පූර්ණ නිර්වින්දනය නොකර අර්ධ නිද්‍රා තත්ත්වයේ තබාගෙන සැත්කම කළ නිසා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට විශේෂ වගකීමක් පැවරුණා. ”

මේ විස්මිත සැත්කම කළ වෛද්‍ය කණ්ඩායම් නියමුවන් වූයේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස්, වෛද්‍ය රොහාන් පාරිස් හා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන ලෙවන් කාරියවසම් වෛද්‍ය විශාඛා කර්නර් යන වෛද්‍ය මණ්ඩලය යි.

  • මිහින්තලේ – සුමේධ කරුණාරත්න, අනුරාධපුර – අමිල ප්‍රභාත්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හඬ පට පිටට දෙන්න බැහැ . . .

Tue Oct 17 , 2023
පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (17 ) පැවසීය. එය  පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද   ඔහු සඳහන් කළේය. කතානායකවරයා මෙසේ පැවසුවේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි සිය වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි පැවසුවේ පාර්ලිමේන්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x