මීළඟ තරග දෙකම ජය ගන්නවා . . .

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගයට සහභාගීවීම උදෙසා ශ්‍රී ලංකා පිල ඊයේ නවදිල්ලිය වෙත ළඟ විය. ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සමඟ තරගය මේ මස 6 වැනිදා නවදිල්ලි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී හා නවසීලන්තය සමඟ තරගය මේ මස 9 වැනිදා බෙංගලෝරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඉතිරිව ඇත.

ශ්‍රී ලංකා පිල මේ තරගාවලියේ මෙතෙක් තරග 7කට සහභාගි වී තරග 2ක් ජයගෙන තරග 5ක් පරාජයවී ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිටින අතර, මේ තරග දෙකම ජයගතහොත් ප්‍රසාද ලකුණු 8ක් ලබා පියවර කිහිපයක් ඉහළට පැමිණීමේ හැකියාව ඇත. ඉන්දියාව හා දකුණු අප්‍රිකාව පිළි‍වෙළින් ලකුණු 14ක් හා 12ක් ලබා සිටින අතර, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ලකුණු 8 බැගින් ලබා සිටින හෙයින් ශ්‍රී ලංකා පිලට අවසන් වටයට යෑමේ අවස්ථා ඉතා සීමිතවී තිබේ.

කෙසේ වුවද මීළඟ තරග දෙකම ජය ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පෙරේදා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

“කණ්ඩායමේ දස්කම් ගැන මම ගොඩක් කලකිරෙනවා. මගෙන් පවා යමක් ඉටු වුණේ නෑ. ඉන්දීය පිල ඉතා හොඳින් පන්දු යැව්වා. රාත්‍රිය වෙද්දී පන්දුව ඉතා හොඳ දෝලනයක් තිබුණා. අවාසනාවට අපි තරගය පැරදුණා. පළමු භාගයේදී කඩුල්ල මන්දගාමී වේ යැයි සිතූ නිසා මා මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. මේවා නිදහසට කරුණු නොවෙයි. නමුත් මීළඟ තරගයේදී අපි වඩාත් ශක්තිමත්ව නැවත පැමිණෙනවා” කුසල් මෙන්ඩිස් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පිට පිටම රැස් කළ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර, මීට පෙර 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලකුණු 50කට සීමා විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය යළිත් අසාර්ථකවී ලකුණු 55කට සීමා විය.

මේ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හමුවේ ලද එම දරුණු පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපියක් යවයි. කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කරවන කාර්ය සාධනය පිටුපස ඇති හේතු කුමක්ද යන්න තේරුම් ගැනීම උදෙසා මේ කරුණු විමසීමේ ලිපිය යවා ඇත.

ඉන්දියාවට එරෙහිව පෙරේදා මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ලද දරුණු පරාජය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි කණස්සල්ල කණඩායම් කළමනාකාරීත්වය වෙත ප්‍රකාශ කර ඇත. එම දරුණු පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මේ හදිසි සවිස්තරාත්මක පැහැදිළි කිරීම ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.

මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ විවිධ පසුබැසීම් සහ කම්පන සහගත පරාජයන් දකිද්දී කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කරවන බව එම ලිපිය මඟින් ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වය දැනුමදී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට, තේරීම් කමිටුවට හෝ ඔවුනගේ රාජකාරි සහ වගකීම්වලට ශ්‍රි ලංකා ක්‍රිකට් බාධාවන අයුරින් කටයුතු කර නැති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම හා විනිවදභාවය අපේක්ෂා කරන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරුණු කිහිපයක් මූලික කර ගනිමින් පුහුණු කාර්යය මණ්ඩලයෙන් කරුණු පැහැදිළි කරන ලෙස ඉල්ලා ඇති අතර, තරගය අතරතුර කණ්ඩායමේ උපාය මාර්ග, සූදානම සහ උපායශීලී තීරණ පිළිබඳ අවබෝධය, එක් එක් තරගය සඳහා ක්‍රීඩකයින් තේරීමේ සාධාරණීයකරණය කිරීම, ක්‍රීඩකයන්ගේ කාර්යය සාධනය, තරගයකින් අනතුරුව දක්ෂතා විශ්ලේෂණය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කොට ඇත.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම් කල්‍ දමයි . . .

Sat Nov 4 , 2023
ඉන්දියාවේ දිල්ලි අගනුවර ඊයේ (03) ඝන විෂ සහිත දුමාරයකින් වැසී ගොස් තිබූ අතර, වාතයේ ගුණාත්මක තත්ත්වය නරක අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නගරයේ වායු තත්ත්ව දර්ශකය ආසන්න වශයෙන් ඒකකය 500ට ළඟා වී තිබූ අතර දිල්ලි අවට පාසල් වසා දමා අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් තහනම් කිරීමට දිල්ලි බලධාරින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x