හම්බන්තොට රොහලේ වැඩකටයුතුවලට බාධා . . .

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 වැනිදා) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා සිදුව තිබේ.

මෙම වෛද්‍යවරිය ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති අතර ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. ඇය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දන්වා ඇත.

කෙසේ වුවද මෙම වෛද්‍යවරිය විදෙස්ගත වී ඇත්තේ කිසිදු විදෙස් නිවාඩු අනුමත කරවාගැනීමකින් තොරව බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණි.

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඉකුත් වසරේ අගෝස්තු 12 වැනිදා මේ ආකාරයටම හදිසියේ විදෙස්ගතව තිබිණි. ඔහු දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව දන්වමින් විදෙස්ගතව තිබූ අතර පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් මේ බව රෝහල් බලධාරින්ට දන්වා තිබිණි. ඔහු විදෙස්ගත වූ පසු රෝහලේ ශල්‍යකර්ම කිරීමේදී දැඩි අසීරුතාවකට රෝහල් බලධාරින් මුහුණ දුන් අතර ඉන් පසුව රෝහලට වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත්කර එවා තිබුණි. පෙරේදා හදිසියේ විදෙස්ගත වී ඇත්තේ එලෙස පත්ව ආ විශේෂඥ වෛද්‍යවරියකි.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ සුරංග උබේනායකගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූවේ පවතින තත්ත්වයන් යටතේ රෝහලේ ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවන බවයි. එමෙන්ම දැනට රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා යටතේ සතියේ දිනවල පමණක් ශල්‍යකර්ම කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම කීවේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බව ද වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තංගල්ල, තිස්සමහාරාම, වලස්මුල්ල යන මූලික රෝහල් තුනම වෙනුවෙන් රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු සිට ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පමණි. දැනට මාස තුනකට අධික කාලයක් තිස්සේ හම්බන්තොට මහ රෝහලේ එම  වෛද්‍යවරයාගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් සමස්ථ දිස්ත්‍රික්කයේම රුධිර පාරවිලයන කටයුතුවලට බාධා සිදුව ඇති බව වාර්තා වේ.

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනවසර සංක්‍රමණිකයින් 60 දෙනෙක් මරුට . . .

Fri Mar 15 , 2024
මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයින් රැගත් ඩිංගි යාත්‍රාවක සිටි පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල දැක්වෙන්නේ, එහි සිටි සංක්‍රමණිකයින්ගෙන් 25 දෙනෙකු SOS Méditerranée නමැති මානුෂීය කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන Ocean Viking නෞකාව මගින් මුදා ගෙන ඇති බව ය. මෙම අනවසර සංක්‍රමණිකයින් රැගත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x