දකුණට ප්‍රහාරක පොලිස් කණ්ඩායමක් . . .

දකුණේ පාතාලය මැඬලීමට අසමත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් එම පොලිසිවලින් ඉවත්කර ලබන සඳුදා සිට පාතාල මර්දනය සඳහා කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක් දකුණට යැවීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

මේ අනුව දකුණේ අපරාධ මැඬලීමේ නව මෙහෙයුම අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ස්ථානාධිපතිවරුන් මාරුකර යැවීමටද තීරණය කර තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වහාම මාරුකර ඒ වෙනුවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි මහේෂ් සේනාරත්න දකුණු පළාතට අනුයුක්ත කර යැවීමට තීරණය කර ඇත. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති හා පිටිගල පොලිස් ස්ථානාධිපතිවරුද මේ යටතේ ඉදිරියේදී මාරුකර යැවීමට නියමිතය. මෙම නිලධාරින් පාතාල ක්‍රියා මැඬපැවැත්වීමට අපොහොසත් වීමේ චෝදනා මත විශේෂ විමර්ශන ඒකකය (SIV) යොදවා විමර්ශනයක්ද අරඹා තිබේ.

ඇල්පිටිය, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, රත්ගම පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාල මර්දනය සඳහා පොලිස් මූලස්ථානය දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවද අනාවරණ වී ඇත.

දකුණේ පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරින් 1092 කගේ ලැයිස්තුවක් දකුණේ පොලිස් ස්ථාන හැට දෙකකට (62) යොමුකර ඇතත් පසුගිය වසරේ සිට මේ දක්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් මෙහෙයුම් කර නොමැති බව හෙළි වී තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගිය වසරේදී මෙම අපරාධ ලැයිස්තුව යොමු කරමින් මෙම පාතාල ක්‍රියාකාරින් මර්දනයට හා ඔවුන්ගේ වත්කම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්පත් කර ගැනීමට නියෝග ලබා දී ඇත.

කෙසේ වෙතත් එම නියෝග ක්‍රියාත්මක කිරීමට බහුතරයක් නිලධාරින් පියවර ගෙන නොමැති බව දකුණේ පොලිස් ස්ථාන 62 ක ස්ථානාධිපතිවරුන් කැඳවා පොලිස්පතිවරයා පැවැත් වූ සාකච්ඡාවකදී හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

බහුතරයක් ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි වසම හෝ ආසන්නතම ගමට පත් වී පැමිණීම නිසා පාතාල මර්දනයට මැදිහත්වී ක්‍රියාකර නොමැති බව හෙළි වී ඇත.

තවදුරටත් පොලිස් මූලස්ථානයේ නියෝග ක්‍රියාත්මක කළ නොහැකි නම් ස්වේච්ඡාවෙන් ස්ථානාධිපති තනතුරුවලින් ඉවත්ව යන ලෙසත්, තව එක් සිදුවීමක් හෝ සිදුවුවහොත් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවෙදී අනතුරු හඟවා තිබේ.

සඳුදා දිනයේ කොළඹින් පිටත්වන කණ්ඩායම් වලට පාතාල ක්‍රියාකාරින් හඹායෑම අනුබල දෙන්නන් හඹා යෑම, සැඟවූ ගිනි අවි සොයා ගැනීම හා නීති විරෝධී වත්කම් අත්පත් කර ගැනීම යන අභියෝගයන් භාර දී ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යටතේ මෙම කණ්ඩායම් අධීක්ෂණය කරනු ලබයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සිසුවෙකුට පහරදුන් හිටපු මන්ත්‍රී පළායයි . . .

Sun Mar 17 , 2024
පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පාසල් සිසුවාගේ මව චෝදනා කරන්නේ පහරකෑමට ලක්වු තම පුත්‍රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටය. පසුගිය 11 වනදා පාසල නිමවී සිය නිවස වෙත යමින් සිටියදී සැකකාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x