මහ බැංකුවේ සේවකයින්ගේ 25%කින් පඩි කපාගනී . . .

මහ බැංකුවේ සේවකයන්ට වැඩිකළ වැටුප සියයට විසිපහකින් අඩු කිරීමේ යෝජනාවක් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අතරින්ම ඉදිරිපත්වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවෙන්, සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධතා නිසාවෙනි.

මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිත බවද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත්, මහ බැංකුව සිය වැටුප් වැඩිකර ගැනීම සිදුකර ඇත්තේ ලබන අප්‍රේල් මාසයේදී විශ්‍රාම යාමට නියමිත, මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම් මත බවද අනාවරණය වේ. මෙම නිලධාරියා මහ බැංකුවේ ඉහළ නිලයක් දරන අතර, ඔහු විශ්‍රාම යාමේදී ඉහළ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමද අදාළ වැටුප් වැඩිවීමට හේතුපාදක වී තිබෙන බවද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.

රජයේ සේවකයකු විශ්‍රාම ලැබූ පසුව ඔහුගේ විශ්‍රාම වැටුප බද්දෙන් නිදහස් වූවත්, මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා එහි සේවකයන් විශ්‍රාම ගිය පසුව ඔවුන්ගේ වැටුප බද්දෙන් නිදහස් නොවේ. ඊට හේතුව රජයේ අනුමත විශ්‍රාම වැටුප් අරමුදලින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නොගෙවන නිසාවෙනි . නමුත්,මහ බැංකුවේ සේවකයන් විශ්‍රාම ගිය පසුවද එම වැටුප බද්දෙන් නිදහස් කරගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවටද තොරතුරු අනාවරණය වේ.

මහ බැංකුව ස්වාධීන ආයතනයක් වුවද, වැටුප් වැඩිකර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ලැබුණු බව අධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා මහ බැංකුව උත්සාහ ගනිමින් පවතින බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මහ බැංකු සේවකයන්ට එහි අරමුදල හරහා වැටුප් ගෙවනු ලැබූවද, මෙලෙස හිතුමතේ වැටුප් වැඩිකර ගැනීම සඳහා නීත්‍යනුකූල බලයක් නොමැති බවද අනාවරණය වේ.

මෙම වැටුප් වැඩිකර ගැනීමේදී,වැඩිවන වැටුපට අදාළව රජයට ගෙවීමට සිදුවන වැඩි බදු මුදල ද මෙම වැටුපට එකතුකර ඇතැයිද පැවසේ. ඉකුත් 2017 වසරට පෙර කාලයේදීද මහ බැංකු සේවකයන්ගේ වැටුපෙන් කපන ලද බද්ද රජයට ගෙවනු ලැබුවේද මහ බැංකු අරමුදල විසිනි. මෙය නීත්‍යනුකූල තත්ත්වයක් නොවන බැවින්, එලෙස අරමුදල හරහා අදාළ බදු මුදල ගෙවීම නීත්‍යනුකූල කරගැනීමට අදාළව දේශීය ආදායම් පනතට වගන්ති එකතු කිරීමේ සූදානමක් පවතින බවද මහ බැංකුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීමට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර සම්මත කරගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල කටයුතු යොදා ඇත. මේ අතර, සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් සඳහා සියයට නවයක වාර්ෂික පොලියක් ගෙවද්දී මහ බැංකුවේ එම අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයන්ට වාර්ෂික පොලිය ලෙස සියයට 29 යි දශම 27 ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය නිසා වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් 14 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දකුණට ප්‍රහාරක පොලිස් කණ්ඩායමක් . . .

Sun Mar 17 , 2024
දකුණේ පාතාලය මැඬලීමට අසමත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් එම පොලිසිවලින් ඉවත්කර ලබන සඳුදා සිට පාතාල මර්දනය සඳහා කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක් දකුණට යැවීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත. මේ අනුව දකුණේ අපරාධ මැඬලීමේ නව මෙහෙයුම අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ස්ථානාධිපතිවරුන් මාරුකර යැවීමටද තීරණය කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x