පිල්ලෙයාන් කණ්ඩායම අවි අතට ගනී . . .

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක පිල්ලෙයාන්ගේ කණ්ඩායම් සතුව නීති විරෝධී ආයුධ තොග පවතින බවත් එම ආයුධ තොග සොයා දීමට තමාට හැකි බවත් ඊරොස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමය) සංවිධානයේ නායක ආර්. ප්‍රභා පැවසීය.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක බව කියන අල්ෆතා, අබුජියාද් හා ජීයාද් යන කණ්ඩායම් සතුව පවතින නීති විරෝධී ආයුධ තොග ද තමන්ට සොයා දිය හැකි බව ඔහු සඳහන් කළේ ය.

ඊරොස් නායකයා පැවසුවේ, තම කණ්ඩායමට රජයෙන් පිස්තෝල 10ක් සපයන්නේ නම් එම ආයුධ සොයා දිය හැකි බව ය.

මඩකළපුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම ඉල්ලීම සිදු කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

“නැගෙනහිර පළාතේ නීති විරෝධී ආයුධ තිබෙනවා. මේ ආයුධ සියල්ල සොයා දෙන්න අවශ්‍ය නම් ඊරොස් සංවිධානය වන අපේ සංවිධානයේ සාමාජිකයන් 10 දෙනෙකුට පිස්තෝල 10ක් සපයා දෙන්න. එවිට මම මේ ආයුධ සියල්ල සොයා දෙනවා. අල්ෆතා, අබු ජියාද්, ජීයාද් හා පිල්ලෙයාන් කණ්ඩායම යන මේ සියලු කණ්ඩායම් සඟවාගෙන සිටින ආයුධ මට හොයලා දෙන්න පුළුවන්.

පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් දැන් පොතක් ලියා තිබෙනවා. ඔහු එම පොත ලියා ඇත්තේ ඔහුගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ඥානම් නමැත්තා ලවා විය හැකියි. පිල්ලෙයාන් ගැන තොරතුරු රැසක් දැන් හෙළි වෙමින් තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයටත් පිල්ලෙයාන්ටත් සම්බන්ධයක් තිබෙන මම දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. පිල්ලෙයාන් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකළපුව බන්ධනාගාරයේ සිරගත කර සිටියා. ඒ බන්ධනාගාරයේදී රැවුල වවාගත් දෙදෙනෙකු එනම් සහරාන්ගේ ඥාතීන් යැයි කියන දෙදෙනෙකු ඇසුරු කළා යැයි පිල්ලෙයාන් ම ප්‍රකාශ කළා. එම පුද්ගලයන් දෙදෙනාට අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සම්බන්ධයක් තිබෙනවා විය හැකි යැයි ඔහු සැක කළ බවත් පවසා තිබුණා. එහෙනම් මෙතෙක් කාලයක් පිල්ලෙයාන් කෝමාවෙන් නිදාගෙන සිටියා ද? අද නැගෙනහිර පළාතේ ජනතාව කන්න නැතිව අව්වේ නියඟයෙන් දුක් විඳිනවා. නමුත් පාලකයො සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මේ හැමෝටම ඉදිරියේදී පාඩම් තිබෙනවා ජනතාවගෙන් ඉගෙන ගන්න.

රනිල් වික්‍රමසිංහ අද මේ රටට ලැබිලා තිබෙන වරප්‍රසාදයක්. ඔහු තවත් වසර පහක කාලයක් මේ රටේ ජනාධිපති ධුරය හොබවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ඔහුට පමණයි. ඔහුට මේ රටේ ජාතිවාදය තුරන් කරන්න පුළුවන්. ජාත්‍යන්තර සබඳතා මත මේ රට ගොඩනගන්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විතරයි.

යුද්ධයෙන් පීඩාවට පත් පළාතක් වන නැගෙනහිර පළාතට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ ආණ්ඩුකාරවරයෙක් වශයෙන් සෙන්දිල් තොණ්ඩමන් පත් කර තිබෙනවා. ඉන්දියාවට නෑදෑකම් ඇති ඔහු වැනි අයෙක් අපේ පළාතට පත් කිරීම ගැන අපි සතුටු වුණා. එහෙත් කොහෙ ද මේ පළාත දියුණු වුණේ. වත්මන් ආණ්ඩුකාරවරයා කරන වැඩ ඔබලා දන්නවා ද? 1940 කඳුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය වෘත්තීය සමිතිය පිහිටුවනු ලැබුවා. කඳුකරයේ සීතලේ, වැස්සේ කූඩැල්ලන්ගෙන් පීඩා විඳිමින් වතුකරයේ වැඩ කරන ජනතාව මේ වෘත්තීය සමිතියට මාසයෙන් මාසයට අරමුදල් ලබා දුන්නා.

අදටත් මේ වෘත්තීය සමිතියට අරමුදල් මේ විධියට සැපයෙනවා. එහෙනම් හිතන්න අද මේ වෘත්තීය සමිතියේ ගිණුම්වල කොපමණ විශාල මුදලක් තිබෙනවා ඇද්ද? කෝටි දහස් ගණනක් මුදල් එම ගිණුම්වල ඇති. එවැනි මුදල් ගිණුම් සමග ගනුදෙනු කළ සෙන්දිල් තොණ්ඩමන් වැන්නකු මේ පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කර තිබෙනවා.

  • ලක්ෂ්මී ජයකොඩි

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සේනක බටගොඩට ගීත වාරණයක් . . .

Tue Apr 2 , 2024
ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (02) වාරණයක් නිකුත් කළේය. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x