ජීවන කඩුල්ල බේරාගත් ගයි විටෝල් . . .

ඉංග්‍රීසි බසින් ‘ගයි’ යනු පිරිමියාය. ඉංග්‍රීසි මව්බස වූ ඇංග්ලෝ සැක්සන් සම්ප්‍රදායට අනුවනම් සැබෑ පිරිමියෙක් කියන්නේ අවධානමට ලැදි පුද්ගලයෙක්ටය. අද අප කතානායක ගයි විටෝල් ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියට අනුව නම් සැබෑ පිරිමියෙකි. ගයි විටෝල් යන නම 90 දශකයේ සහ 2000 දශකයේ ක්‍රිකට් බැලූවන්ට හුරු නමක් වූවත් ගයි වඩාත් ජනප්‍රියවූයේ ක්‍රිකට්වලින් පසු කීවාටද වරදක් නොමැත. දෙදාහ දශකයේ මුල ක්‍රිකට්වලින් සමුගත් ගයි ගැන සටහනක් තැබීමට ‘සතිඅග අරුණ’ට සිහි වූයේ පසුගියදා ඔහුට පාත් වූ හෙණ ගෙඩියත් සමඟිනි.

රට පුරා වන ගහණය ඇති සිම්බාබ්වේ දේශයේ හුමානි ප්‍රදේශයේදී දඩයමේ ගිය ගයි විටොල් ඉකුත්දා දිවියකුගේ ප්‍රහාරයකට ලක් විය. ඒ තුවාල සහිතව වනයේ සරමින් සිටි දිවියෙකි. තුවාල ලබා වියරු වැටී සිටි දිවියා හමුවේ හිසේ පටන් ඇඟ පුරා තුවාල ලැබූ ගයි දිවි ගලවාගත්තේ නූලෙනි. සිය විශ්වාසනීය මිතුරා වූ චිකාරා නම් සුනඛයා සමගින් එක්ව දිවියාට එරෙහිව පොරබදා දිවි බේරාගැනීමට ගයිට හැකි වූ අතර චිකාරා එතන නොසිටින්නට මේ ලියන්නේ ගයි පණපිටින් සිටි කාලයේ ලද ජයග්‍රහණ පිළිබඳව වන්නටද ඉඩ තිබුණි. බරපතළ තුවාල ලබා, අධික රුධිරවහනය හේතුවෙන් අසාධ්‍යව සිටි විටෝල්ව හෙලිකොප්ටරයක නංවාගෙන හරාරේ නුවරට රැගෙන ගොස් හදිසි සැත්කමකටද යොමු කෙරුනි. හෝරා කීපයක් පුරා ඇදී ගිය සැත්කමකින් අනතුරුව ගයිගේ දිවි ගලවාගැනීමට වෛද්‍යවරු සමත් වී තිබුණි. සිය හාම්පුතා වෙනුවෙන් දිවි පරදු කළ චිකාරාගේ ජීවිතයටද හානියක් නොවුණු අතර ඔහුව පශුවෛද්‍ය සත්කාර සඳහා යොමු කර තිබුණි.

සිම්බාබ්වේ ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය යුගයක් වූ 90 දශකයේදී ජාතික කණ්ඩායම නියෝජනය කළ ගයි ජාත්‍යන්තර ද්විත්ව ශතකයක් සමගින් තරග 193කදී ලකුණු 4912ක් රැස් කළ අයෙකි. සිම්බාබ්වේ නියෝජනය කරමින් මේ දක්වා ජාත්‍යන්තර ද්විත්ව ශතක රැස් කොට තිබෙන්නේ සිව් දෙනෙකු පමණක් වීමද විශේෂත්වයකි. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ගයි විටෝල් 93 වසරේදී ජාතික වරම් ලබා 2003 වසරේදී ක්‍රිකට් පිටියට සමු දෙනතෙක් ජාත්‍යන්තර කඩුලු 139ක් දවාගැනීමටද සමත්ව තිබුණි. 99 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඇතුළුව අවස්ථා ගණනකදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් පිටියේදී සිය රාජකාරී ඉටු කළ ගයි සෆාරි ව්‍යාපාරයට යොමුවන්නේ විශ්‍රාම යෑමෙන් අනතුරුවය. ගිනිකොණදිග සිම්බාබ්වේහි හුමානි ප්‍රදේශයේ සිය ව්‍යාපාරය ආරම්භ කළ ගයිට මීට පෙරත් කැලෑ සතුන් හා ගැටීමට සිදු විය.

පසුගියදා සිදුවූ දිවි ප්‍රහාරය යනු සතුන් හමුවේ ගයි විටොල් නම් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ජීවිත අවදානමට ලක්වූ පළමු වතාව නොවන්නේය. මෙම සිදුවිමට දශකයකට පමණ පෙර හෙවත් 2013දී ද ගයි විටෝල් එලෙස ‘මරු අත්දැකීමක්’ හමුවේ නිරුපද්‍රිත වී තිබුණි. එදින ගයි නින්දට ගොස් තිබුණේ අනාරාධිත අමුත්තෙක් සිය කාමරය තුළ නිදි සුව ලබන බව පිළිබඳව හාංකවිසියක් නොමැතිවය. වැස්සෙන් සහ අධික සීතලෙන් බේරීමට ගයිගේ කාමරයට රිංගූ අමුත්තා වෙනත් අයකුගේ නිවසක රැයක් ගෙවන විට පිළිපැදිය යුතු සියලු ආචාර ධර්ම අකුරටම පිළිපදිමින් මුළු රැය පුරාවටම හඬක් නොනැගුවේය. නිවෙස් හිමිකරුවන්ට ගෙදරින් යෑමට වැඩ සැලැස්වූයේද නැත. ඇඳෙන් පහළට එල්ලී ඇති ගයිගේ කකුලට කඩා පැන්නේද නැත.

අමුත්තෙකු පිළිපැදිය යුතු ආචාර ධර්ම ඒ ආකාරයෙන්ම රැකි මේ අමුත්තා අඩි 8ක් දිග කිලෝග්‍රෑම් 165කට කිට්ටු බරකින් යුතු නයිල් කිඹුලෙකි. පසුදා උදෑසන නිදි ගැට කඩන විට මේ අමුත්තා ඇඳ යට සිටිනු දුටු ගයිට නින්ද අමතක වී ලේ වතුර වූ බවනම් නිසැකය. පසුව මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ ගයි කියා තිබුණේ වැස්සෙන් බේරෙන්න ඇඳ යටට රිංගූ කිඹුලා සිය ඇඳ යට ඇති උණුහුමට ප්‍රියවන්නට ඇති බවය.

ගයි යනු පණ නමයක් සහිත පූසෙක් මෙන් වාසනාවන්තයෙකි. ඔහුගේ බිරිඳගේ වදනින්ම කීවොත් 2013 කිඹුලාගෙන් බේරුණු ගයි 2024දී දිවියාගෙන්ද පණ බේරාගත්තේය. එමෙන්ම මෙය ඔහු සිය ජීවිතය අවධානමේ දමා ගන්නා අවසන් අවස්ථාවද නොවනු ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

EPF පොලිය 13% දක්වා ඉහළට . . .

Mon Apr 29 , 2024
ලක්ෂ විසි හතක වැඩ කරන සේවක පිරිසට සෙත සැලසෙමින් මෙතෙක් 9%ක්ව පැවැති සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය. දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලේ පොලිය සියයට නවයක් ලෙස ලබාදීමට පාර්ලිමේන්තුවේ සම්මතවී තිබියදී මෙලෙස එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x