දුම්රිය ගමන් වාර 26ක් අවලංගු කරයි . . .

දුම්රිය නියාමකවරුන් ඉන්ධන නොමැතිවීම මත සේවයට වාර්තා නොකිරීම නිසා නගරාන්තර, දුර ගමන් සේවා හා කාර්යාල දුම්රිය ගමන් වාර 26කට අධික සංඛ්‍යාවක් ඊයේ (ජූනි 29) පෙරවරුවේ සිට අවලංගු කිරිමට දුම්රිය අධිකාරියට සිදු වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දුම්රිය ධාවන කටයුතුවලට සම්බන්ධ දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන් හා කනිෂ්ඨ කාර්යමණ්ඩලය වෙත සේවයට පැමිණීමේ ගැටලුවක් පැවැතීම නිසා මෙසේ අවලංගු කිරීමට සිදුව ඇති බව සෙනෙවිරත්න මහතා පැවසුවේ ය. කොළඔ සිට වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ සිට පානදුර දක්වා දුම්රිය දෙකක්, කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වන දුම්රිය හයක්, කොළඹ සිට මීරිගම දක්වා දුම්රිය දෙකක්, කොළඹ සහ වේයන්ගොඩ අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ සහ අඹේපුස්ස අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ සහ හලාවත අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ සහ මාදම්පේ අතර ධාවනය වන දුම්රිය දෙකක් මෙසේ අවලංගු කර ඇත.

ඊට අමතරව, කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වන උදයදේවි දුම්රිය සහ කලින් ආසන වෙන් කරන ලද කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ද අවලංගු කර තිබේ. කොළඹ – කොටුව සහ අවිස්සාවේල්ල අතර ධාවනය වන මගී සහ පාර්සල් ප්‍රවාහන දුම්රිය අවලංගු වීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ අවිස්සාවේල්ල දක්වා දුම්රිය ස්ථාන වෙත බෙදා හැරිය යුතු පාර්සල් 300කට වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී ඇති අතර ඒ අතර ඉක්මනින් නරක් වෙන දෑ සහිත පාර්සල් ඇති බව වාර්තා වී ඇත.  ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීමත්, ඉන්ධන ලබා දෙනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් වීමත් හේතුවෙන් මගීන් විශාල සංඛ්‍යාවක් දුම්රිය වෙත යොමු වුව ද ධාවනය වීමට නියමිත දුම්රියද අවලංගු වීම නිසා ධාවනය වූ දුම්රියවල මගීන්ට ගමන් කිරීමට සිදුවූයේ දුෂ්කරතා මධ්‍යයේ ය.

මෙම අවලංගු කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවයට පැමිණ නිවෙස් බලා යාමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බවත් ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීමෙන් අපහසුතාවට පත් ජනතාව කොටුව දුම්රිය ස්ථානය කාර්ය මණ්ඩලයට විරෝධය දැක්වූ බව ද වාර්තා වේ. අර්බුදකාරී තත්ත්වය හමුවේ වුව ද කිසි විටෙක දුම්රිය ධාවනය නතර නොවන බවත් ඉන්ධන නොමැතිව නතර වීමක් සිදුවන බවට පැතිරෙන පුවත් අසත්‍ය බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (ගමනාගමන) පෙරේදා (ජූනි 28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණු පසුබිමක මෙම දුම්රිය අවලංගු කිරීම් සිදුව ඇති බව වාර්තා වී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය සපයන සේවා සීමා කෙරේ . . .

Thu Jun 30 , 2022
රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, අද (ජූනි 30) සිට ජූලි 10 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ මහජන සේවා දින 3කට සීමා කර තිබේ. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය මහජනතාවට සේවා සපයනු ඇත. යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x