පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි කථනය ආරම්භ කරයි . . .

සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේ දී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධ ව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමට ද සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද  කෙටිකලක් තුළ සිදු කෙරෙන මේ කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා දරුවන් උනන්දු කරවීම දෙමාපිය යුතුකම බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක් ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර පදානය කිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවති වැඩසටහනකට එක් වෙමිනි. මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණයට, විශ්ලේෂණයට හා ප්‍රතිකාර දීමට මෙන් ම ආර්ථික වර්ධනයට ද භෞතික විද්‍යා විෂය දක්වන දායකත්වය ඉස්මතු කර දැක්වූ අමාත්‍යවරයා පාසල් මට්ටමින් පවත්වන ඔලිම්පියාඩ් ජාතික වැඩසටහන භෞතික විද්‍යා විෂය ප්‍රවර්ධනය කිරීමට මනා පිටුබලයක් වන බව ද පැවසී ය. එමෙන් ම ජාත්‍යන්තර තලයේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ විද්‍යා විෂය සංවර්ධනයට පමණක් නොව තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, ගණිතය වැනි අනෙකුත් විෂය ප්‍රවර්ධනයට ද වැඩසටහන් ලබන 31 සිට ආරම්භ කරන බවත් එමගින් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය දිවයිනේ ප්‍රචලිත කර එය ජාතික ආර්ථික වර්ධනය සඳහා මුසු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

– මාධ්‍ය ඒකකය

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IMF ණය ලැබීමේ සතුටට රතිඤ්ඤා දල්වයි . . .

Tue Mar 21 , 2023
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්ථිර ණය පහසුකම් යටතේ ශ්‍රි ලංකාවට  අනුමත පළමු ණය වාරිකය ලබාදිමට සතුට පල කරමින් හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් (21) දින රතිඤ්ඤා දල්වමින් සතුට පල කරන අයුරු අප කැමරාවේ සටහන් විය. රතිඤ්ඤා දල්වමින් සතුට පල කල හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් එම ණය මුදල ලබා ගැනිමට වත්මන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x