ග්‍රීසියේ සිදුවූ මානුෂවාදී ඛේදවාචකය ලංකාවේත් ඉදිරියේදී සිදුවෙයිද . . .

“තිත්ත බෙහෙතක්” සහ “වස පානය” කිරීම අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට තිත්ත බෙහෙතක් යැයි සිතා වස පානය නොකළ යුතුයි.” යානිස් වරුෆකිස් (Yanis Varoufakis).

යානිස් වරුෆකිස් ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති වරයා. ඔහු IMF සංවිධානය ග්‍රීසියේ කල මානුෂවාදී ඛේදවාචකය හොඳ හැටි අත් විඳි පුද්ගලයෙක්. වරුෆකිස් ප්‍රකාශ කරන අන්දමට ග්‍රීසිය 2010, 2015, 2016 සහ 2018 වර්ෂ වල IMF වෙත ගියත් සිදුවූ යහපතක් නොමැත. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන් විසින් බලපෑම් කොට සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ග්‍රිසිය කබලෙන් ලිපට වැටුණු බව ඔහු කියයි. වරුෆකිස් සිය තනතුර හැර යන්නේ ඔහුගේ උපදෙස් නොතකා තමාගේ අගමැති වරයා තෙවැනි වරටත් IMF සමග නැවත ගිවිසුම් ගත වීම නිසයි. අවසානයේ IMF සංවිධානය ග්‍රිසියෙ ජනයාට සිදුවූ හිංසනය පිළිබඳව ග්‍රීසියෙන් සමාව ගත් බව යානිස් වරුෆකිස් ප්‍රකාශ කරයි. දකුණු කොරියාව,  ආජන්ටිනාව වැනි රටවලටත්  සිදුවූයේ එයයි. ලෝකයේ IMF උදව්වෙන් ගොඩගිය කිසිදු රටක් සොයාගැනීමට නැති තරම් ය.

නොබේල් ත්‍යාග ලාභී අර්ථ ශාස්ත්‍රඥයකු වන ජෝෂප් ස්ටිග්ලිට්ස් (Joseph Stiglitz) ඔහුගේ  Globalization and Its Discontents පොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වන්නේ “ලෝකයේ දුප්පත්ම රටවල අසාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක කිරීමේ මූලික වරදකරු” ලෙසයි ( Primary culprit). ජෝෂප් ස්ටිග්ලිස්ට අනුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය දීමට නම් ඔවුන්ගේ කොන්දේසි ලෙස බදු ඉහළ දැමීම් (fiscal austerity), පොලී අනුපාත ඉහළ දැමීම (high interest rates), ආනයන ලිහිල් කිරීම (trade liberalization), පෞද්ගලිකරණය (privatization),  ප්‍රාග්ධන වෙළෙඳපොළ විවෘත කිරීම (open capital markets) නීති රීති සීමා ලිහිල් කිරීම (Deregulation ) වැනි දෑ ක්‍රියාත්මක කිරීම තුල එකී රටවල ආර්ථිකය මත අනිසි බලපෑම් ඇති කිරීමට අමතරව ඒවායෙහි ජනයාට දරාගත නොහැකි ඵලවිපාක භුක්ති විඳීමට සිදුවන බවය. එය සත්‍යක් බව ලංකාවේ ඔබට මේ වන විට හොඳින් දැනෙමින් ඇත.

අද ලංකාව මුහුණ දී  සිටින්නේ මෙන්න මේ කියන්නාවූ ඵලවිපාකයන්ට ය. ලංකාවේ සමහර දේශපාලන පක්ෂ වල සිටින ආර්ථික කවුන්සිල ට්‍රොයිකාද ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළේ මෙවැනි ප්‍රතිසංස්කරණ යෝජනා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට සුදුසු පාලකයන් ඔවුන් සෑම විටම සොයාගනී. ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ වට්ටෝරුව ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සෑම විටම උස්සාහ කලේ රනිල් වික්කම  සිංහ සමගයි. කාලයක් තිස්සේ කල උස්සාහය මෙවර ඔවුන් සාර්ථක කරගෙන  ඇත. එම නිසා ඔහුව ආරක්ෂා කරගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ අමෙරිකාවේ අවශ්‍යතාවය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට සහන දීමට ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ ස්වාමීන් එනම් ලංකාවට ණය දී ඇති Black Rock Inc (US), Ashmore Group (UK), Allianz(Germany), HSBC (UK), JPMorgan Chase (US), Prudential (US) වැනි ස්වෛරී බැඳුම්කර හිමියන් ආරක්ෂා කිරීම මිස අන් කිසිවක් නොවෙයි. මා ඊයේ ලිපියේ ප්‍රකාශ කල අන්දමට ලංකාව ස්වෛරී බැඳුම්කර හරහා මොවුන් ගෙන් ලබා ගෙන තිබෙන්නේ සමස්ත ණයෙන් 36% ක කොටසක් වුවත් (ණය තොගය ඩොලර් බිලියන 100.9) https://www.mof.lk>update>to>creditors සමස්ත ණය සඳහා ලංකා රජය ගෙවන පොලියෙන් 76% සූරාකන්නේ ඉහත බැදුම්කර හිමියන් කිහිප දෙනා විසිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ඉහත සමාගම් වලට ලංකාවේ අඩු ආදායම් ලාභියා මහා මාර්ගයේ හිඟා කෑවත්, කර්මාන්ත වැසී ගියත් , වෘත්තිකයා පාරේ උද්ඝෝෂණ කලත්, ශිෂ්‍යා පෙළපාලි ගියත්, කොටින්ම රටට හෙන ගැහුවත් ඔවුන්ගේ ණය ලබා ගැනීම සඳහා ඔවුන් විසින් නිර්දේශිත වට්ටෝරුව පාලකයා ක්‍රියාත්මක කරයි නම් එය හොඳටම  ප්‍රමාණවත් ය. ඉන් එපිට ඔවුන් තුල මානුෂීය හැඟීම් නැත. ඛේදවාචකය එයයි. ලංකාවේ බොහෝ මැද පංතියේ පිරිස් හිතනා තරම් සුන්දර රටක් මේ හරහා නිර්මාණය නොවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊලඟ ගොදුර බවට පත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එය ලබන 21 වනදායින් පසු ඔබලාට බලා ගැනීමට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ට අවශ්‍ය ලෙස අධිපති වරයා ඒ සඳහා සූදානම් කොට තිබෙන බව නව මුදල් පනත කියවීමේදි පැහැදිලි වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව මුදල් පනත මගින් ජනයා විසින් පත්කරන ආණ්ඩුවට පිටින් තවත් ආණ්ඩුවක් හැදීමට සූදානම් වෙයි.

නයෝමි ක්ලේන්ගේ (Naomi Klein) ගේ ආපදා ධනවාදය (Disaster Capitalism) ලංකාවේ දැන් හොඳින් ක්‍රියාත්මක යි. ඇයගේ  Shock Doctrine කෘතියේ මෙම තිර කතාව හොඳින් පැහැදිලි කර ඇත. එහෙත් සම හරක් ලංකාවේ ජනයා ඒවා දැන ගැනීමට අකමැතිය. නව ලිබරල්වාදය විශ්වාස කරන්නන්ගේ ගුරු, මිල්ටන් ෆ්‍රීඩ්මාන් (Milton Friedman) කියන ආකාරයට  නිර්වින්දනයට ලක් වී ඇති ජනයා පියවි ඇස් විවෘත කිරීමට පෙර මේ සියල්ල සිදු කල යුතුය. එය ලංකාවේ පාලකයා හොඳින් කරමින් සිටී. ජනයා නැගිටින විට ඔවුන්ගේ ඇඳිවතත් ගලවා ගෙන ගොස් ඇති බව ඔවුන් දැන ගනී. ලංකාවේ ජනයිනි, එතෙක් සුවසේ නිදන්න.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
17.3.2023

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඥානක්කාගේ දියණියගේ ලක්‍ෂ 80ක රන් භාණ්ඩ සොරා ගනී . . .

Wed Mar 22 , 2023
අනුරාධපුර නගරයේ ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 80 කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඥාන අක්කාගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x