බොරුවට අහුවෙන්න එපා . . .

“විපක්ෂයේ ඉන්න උගත්, බුද්ධිමත් රට ගැන හිතන මන්ත්‍රීවරුන් රජයේ වැඩපිළිවෙලට විවිධාකාරයෙන් සහයෝගය ලබාදෙනවා”  යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ ජනකාන්තවාදී අදහස් පළකරනවා. ඒව හරිම ආකර්ෂණීයයි. ඕනම කෙනෙකුට අහගෙන ඉන්න ආසයි. නමුත් ඒ අදහස් හා යෝජනා මේ මහපොළවේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ මොහොතේදී අපි කරන්න ඕන සටන් පාඨවලට හා පොරොන්දුවලට කොටුවෙලා ඊළඟ මැතිවරණය වෙනුවෙන් කටයුතු කිරීම නෙවෙයි. ඡන්ද කරන්න කලින් කඩාවැටුණු ආර්ථිකය හදන්න ඕන. අපි මැතිවරණවලට බය නැහැ. නමුත් ඊට කලින් ලැබෙන වැටුපෙන් මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් ආර්ථිකයක් හදල අපි මැතිවරණයකට යමු. ඒ ලැබෙන ඕනෑම ප්‍රථිඵලයක් පිළිගන්න අපි සූදානම්.

මැතිවරණ බලාගෙන, තමන්ගේ ඇමතිකම් බදාගෙන තවදුරටත් දේශපාලනය කරන්න ගියොත් මේ රට නැත්තටම නැතිවේවි. මේ බව තේරුම්ගත්ත විපක්ෂයේ ඉන්න උගත්, බුද්ධිමත් රට ගැන හිතන මන්ත්‍රීවරුන් රජයේ වැඩපිළිවෙලට විවිධාකාරයෙන් සහයෝගය ලබාදෙනවා. අයි.එම්.එෆ් එක, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් අද අපිට උදවු කරනවා. නමුත් අපේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ බොරු කිය කියා ජනතාව අතර වෛරය, ක්‍රෝධය වපුරනවා. තමන්ට ඡන්දය දෙන මිනිස්සුන්ට සහන ලැබෙනවට අකමැති මිනිස්සු බලයට ඇවිල්ල රට හදයි කියල හීනෙකින්වත් හිතන්නෙපා.

අර්බුධ එකින් එක විසඳගෙන වර්තමාන ජනාධිපතිතුමා ඉතාම සාර්ථක ගමනක් යනවා. එතුමට විරුද්ධව දේශපාලනය කරපු අපි අද එතුමා එක්ක අත්වැල් බැඳගෙන අවබෝධයෙන් වැඩ කරනවා. රටක් හදන්න ඕන මේ අවබෝධයයි. පහුගිය කාලේ රටේ ඉදිකිරීම්, සංචාරක ක්ෂේත්‍රය කඩාගෙන වැටිල තිබුණේ. දැන් ඒව ටික ටික පණගහගෙන එනවා. මගේ අමාත්‍යංශය රටට ඩොලර් හොයන අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කළා. විදෙස්ගතව ඉන්න ඔබට ඩොලර්වලට නිවාස ලබාගන්න පුළුවන්. අපි මේ වනවිටත් නිවාස විශාල ප්‍රමාණයක් ඩොලර්වලට අලෙවි කරල තියෙනවා. ඒ සල්ලි ලැබෙන්නෙ මට නෙවෙයි රටේ ආර්ථිකයටයි. ආර්ථිකය හැදෙනව කියන්නෙ ජනතාවට සහන ලැබෙනව කියන එකයි.

ඒ නිසා කුහක දේශපාලන පක්ෂවල බොරු සටන් පාඨවලට රැවටිලා විදේශවල ඉන්න ඔබ කටයුතු කරන්න එපා. කුහකයෝ අරක දියවු, මේක දියවු කියල ලංකාවේ උද්ඝෝෂණය කරන කොට ඒ අඩි පාරෙම ගිහිල්ල විදේශවල ඉන්න ඔබත් උද්ඝෝෂණ කරන්න එපා. උසස්පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ටික තවම බලල ඉවර නෑ. ඒ නිසා නියමිත වෙලාවට සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න බැරි තත්ත්වයක් උදාවෙලා. මැතිවරණ ඉල්ලල පාරට බහින අය දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බලන්න කියල බල කරල කවුරුවත් උද්ඝෝෂණය කරන්නෙ නෑ. ඒ නිසා බොරුවට අහුවෙන්න එපා. ඇත්ත තත්ත්වය ලංකාවේ ඉන්න ඔබේ නෑදෑ හිතවතුන්ගෙන් අහල බලන්න. මීට වසරකට පෙර තිබුණ තත්ත්ව නෙමෙයි දැන් ලංකාවේ තියෙන්නෙ. පෝලිම් යුගය ඉවරයි. විදුලිය කපන්නෙ නෑ. ඉන්ධන කෝටාව වැඩි කළා. මම විශ්වාස කරනවා ඉදිරි මාස කිහිපය තුළ විදුලි බිලටත් යම් සහනයක් ලැබේවි කියල. ඉදිරි වසර එකහමාර ජනතාවට මීටත් වඩා හොඳවේවි යැයිද පැවසීය.

– ප්‍රදීප් අනුර කුමාර

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුවේ අතුරුදන්වූ ලක්‍ෂ 50 ට සිදුවූයේ කුමක්ද . . .

Mon Apr 17 , 2023
මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසිය ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව පඹගාලක පැටලී සිටින බව වාර්තා වෙයි. මෙසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල කිසියම් පුද්ගලයකු සොරා ගත්තේ ද එසේත් නැතිනම් අතපසුවීමකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x