එන්නත් කුප්පි ලක්ෂ 25ක් ගැන අල්ලස් පැමිණිල්ලක් . . .

ජනාධිපති ලේකම් කාර්යාලයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් cefuroxime ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කොට ඇති ටෙන්ඩරය සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බැව් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව පැවසීය.

අදාළ සමාගම්වල සුදුසුකම් නිසි පරිදි පරීක්ෂා කිරීමක් හෝ නවතම මිල ගණන් කැඳවීමකින් තොරව ඩොලර් සත විසි පහකට ලබා ගැනීමට හැකියාවක් පවතින එන්නත් කුප්පියක් වෙනුවෙන් ඩොලර් සත 75 බැගින් ගෙවීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 500ක පමණ අලාභයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ දරමින් සිටින බව සඳහන් කරමින් අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් පරීක්ෂණ කටයුතු අවසාන වන තුරු ටෙන්ඩරය ඉදිරි ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කරනු ලබන්නේ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව සහ සිවිල් සංවිධාන බහුජන සංවිධාන නියෝජිතයන් විසිනි.

ඒ අදාළ ඖෂධ මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ මහජන පැමිණිලි කමිටුව විසින් ලබාදෙන නිර්දේශද මීට පෙර අවස්ථාවලදී ජනාධිපතිවරයා හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලය මඟින් ලබාදෙන ලද නිර්දේශ සහ මුදල් අමාත්‍යංශ උපදෙස් පවා නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හදිසි ඖෂධ මිල දී ගැනීම් සඳහා යොමුවන බව පෙනෙන්නට ඇති බැවින් ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද මෙමගින් ඉල්ලා ඇත.

දූෂණ මර්දන ජාතික ව්‍යාපාරය මගින් රටට ජාතික ව්‍යාපාරය, ජනතා පාර්ලිමේන්තුව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෘත්තීය සහ සිවිල් සමිති නියෝජනය කරමින් කමන්ත රොෂාන්, අසේල සම්පත්, සංජීව මහවත්ත, රොෂාන් ශාන්ත යන අය සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගිය වසරක කාල සීමාවේදී හදිසි ඖෂධ මිල දී ගැනීම් නිසා සිදු වී ඇති දූෂණ සහ වංචා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එහි අතිරේක ලේකම් සමන් රත්නායක හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පැමිණිලි භාර දුන්හ.

ඖෂධ මිල දී ගැනීම් සඳහා මුදල් නැතැයි පවසන සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි ඖෂධ මිල දී ගැනීම්වලදී නියමිත මිලට වඩා අතිවිශාල පිරිවැයක් වියදම් කරමින් ඖෂධ මිල දී ගැනීමට පෙලඹීම රටේ මහජනතාවගේ බදු මුදල්වලින් දූෂණ වංචා අක්‍රමිකතා චේතනාන්විතව සිදු කිරීම සඳහා පාර කපා ගැනීමක් බව මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසීය.

ඖෂධ හිඟය මෙන් ම, සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගට ම පෙන්වා දුන් නමුත් ජනාධිපතිවරයා අනුගමනය කරන දැඩි නිහඬ ප්‍රතිපත්තිය කනගාටුවට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරි අසේල සම්පත් ප්‍රකාශ කළේ, දේශපාලකයන් ජනතාවගේ බදු මුදල්වලින් සෙල්ලම් කරද්දී පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මිලකට ඖෂධ මිල දී ගැනීමට සිදුවීම නිසා බොහෝ දෙනෙකු නිසි පරිදි ඖෂධ ලබා නොදීමෙන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බව ය.

මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී රහස් පොලිසියට පැමිණිලිකොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව දූෂණ මර්දන ජාතික ව්‍යාපාරයේ රොෂාන් සමන්ත සඳහන් කළේ ය.

මීට පෙර ඉන්දියානු ඖෂධ සමාගමක් හරහා තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය දරන ලද වෑයමක් හා සිවිල් සංවිධාන මගින් අධිකරණය හමුවේ ගන්නා ලද වාරණ නියෝගයක් මගින් තාවකාලිකව නතර කිරීමට සමත් විය.

  • ගාල්ල – කමල් විජේහේවා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට . . .

Tue May 9 , 2023
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට ගනු ලැබ ඇත. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ඉම්රාන් ඛාන් අත් අඩංව ගුවට ගැනීම තහවුරු කර ඇති අතර පාකිස්තාන ආරක්ෂක අංශ ඔහුව ප්‍රචණ්ඩකාරී ලෙස එම ස්ථානයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x