ශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා අවස්ථා . . .

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී ඊයේ (11) අත්සන් තැබිණ.

ඊට අදාළ ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya අත්සන් තබන ලදී.

මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාල විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමිවේ.

එම අවස්ථාවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර IM Japan ආයතනයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, එහි දී SSW යටතේ බදවා ගැනීම් සදහා වන විභාග ක්‍රමය සරල කරන ලෙස අමාත්‍යවරයා ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ IM ජපන් නියෝජිතයින් ඒ සඳහා අදාල පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට එකඟ විය.

එසේම ජපන් රැකියා ඉලක්ක කර ගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, ඊට ද නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමි වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය මීට පෙර තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ රැකියා පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට අවබෝධතා ගිවිසුමකට එළැඹි අතර, එම වැඩසටහන යටතේ සාත්තු සේවා හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට අදාළව ශ්‍රි ලාංකිකයින් 415 දෙනෙකු ජපානය වෙත රැකියා සඳහා යොමුකොට තිබේ.

මේ අතර, ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සාර්ථකව අවසන් කර දිවයිනට පැමිණි ශ්‍රි ලාංකිකයින් සිව් දෙනෙකු වෙත ඉතිරිකිරීමේ දිරි දීමනාවක් වශයෙන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු කරන ලදී.

ජපානයේ සාත්තු සේවිකාවන් වශයෙන් වසර 5ක පුහුණුව සාර්ථකව අවසන් කර දිවයිනට පැමිණි තරුණියන් තිදෙනෙකු වෙත යෙන් ලක්ෂ 10 (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 21) බැගින් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 3ක පුහුණුව අවසන් කර දිවයිනට පැමිණි තරුණයෙකු වෙත යෙන් ලක්ෂ 6ක් (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 13) බැගින් ද, චෙක් පත් පිරිනමන ලදී.

ජපන් භාෂා ප්‍රවිණතා විභාගයේ සිව් වන අදියර (JLPT/JFT N4) හා විශේෂ නිපුණතාවයන්ට අදාළ විභාගය (SSW Skill Test) සමත් ශ්‍රි ලාංකික තරුණ තරුණියන් සඳහා මෙම රැකියා සඳහා අයදුම් කරන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

ඒ සඳහා ජීව දත්ත පත්‍රිකාව හා භාෂා විභාගය, කුසලතා පරික්ෂණය සමත් සහතික පත් කාර්යාංශයේ ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලයකට හෝ mgr_rec.general@slbfe.lk යන ඊමේල් ලිපිනය වෙත යොමුකිරිමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට පිහිටවීමට රජයෙන් වැඩපිළිවෙළක් . . .

Fri Oct 13 , 2023
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත. ඒ අනුව මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට රජයේ වගකිවයුතු අංශ එක්ව ඊශ්‍රායලයේ වෙසෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x