ජීප් රථයේ වේගය 200Km/h . . .

අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ට මරු කැඳවූ මාරක රිය අනතුරට මුහුණ දුන් ජීප් රථයේ රියැදුරු ප්‍රභාත් එරංග පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර ඇත.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11-1 කණුව කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී 25 දා අලුයම 1.55 ට පමණ සිදුවූ මෙම මාරක අනතුරින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඒ මහතාගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියා වූ (72542) අනුරාධ ජයකොඩි ජීවිතක්‍ෂයට පත්වූහ.

මෙම මාරක අනතුරින් සුළු තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරුවන ප්‍රභාත් එරංග රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් එම රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්‍ෂාව යටතේය.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට 200kmක් ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇත. අනතුරින් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත.

අනතුරට පත්වීමෙන් පසු ජීප් රථය තුළ සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලිසිය ජනතාව සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පැයකට ආසන්න කාලයක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග කියා සිටියේ තුවාලකරුවන් රාගම රෝහල වෙත රැගෙන එනවිටත් රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා මියගොස් සිටි බවයි.

විමර්ශන නිලධාරීන් පවසන්නේ රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි. අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථය වම්පසින් මෝටර් රථයක් ඉස්සර කර පසුව ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථය අතරින් මන්තීරු මාරු කිරීමට උත්සාහ කිරීමේදී එහි ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් රෝද 08කින් සමන්විත අඩි 40ක් දිග කන්ටේනර් රථයේ පිටුපස කොටසට ද දැඩි හානි සිදුවී ඇත.

පෙරේදා සවස පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවැති මංගල උත්සව දෙකකට සහභාගි වීමට ගොස් ඇත.

පසුව තම වැඩිමහල් සොහොයුරා ද මුණගැසී මධ්‍යම රාත්‍රියේ කොළඹ පිහිටි නිවස වෙත එමින් සිටිය දී මෙම අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර සැලවීමත් සමගම රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් රාගම රෝහල වෙත පැමිණි අතර රජයේ මැති ඇමැතිවරුන් මෙන්ම හිත මිත්‍රාදීන් ද විශාල පිරිසක් රෝහල වෙත පැමිණ සිටියහ.

රාජ්‍ය ඇමැතිවරයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර දකුණු කකුලට ද දැඩි ලෙස හානි සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුරට ලක්වන අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරයා ජීප් රථයේ ඉදිරිපස වම් පැත්තේ අසුනේ ගමන්කර ඇති අතර ආරක්‍ෂක පොලිස් නිලධාරියා ඊට පිටුපස අසුණේ සිට ඇත.

අනතුරට ලක්වී විනාශ වී ඇත්තේ ඇමැතිවරයා ගමන් ගනිමින් සිටි ජීප් රථයේ වම් පැත්ත කොටස බවද පොලිසිය පවසයි.

1975 වර්ෂයේ මැයි මස 03 වැනිදා උපත ලැබූ සනත් නිශාන්ත මියයන විට 48 වැනි වියේ පසු වූයේය.

2015 වර්ෂයේ දී නවක මන්ත්‍රීවරයකු ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට එක්වූ ඔහු පසුව රාජ්‍ය ඇමැතිවරයකු ලෙස ද කටයුතු කළේය. පළාත් සභාවේ ධීවර ඇමැතිවරයා ලෙස ද කලක් කටයුතු කර තිබිණි.

දියණියන් තිදෙනකුගේ සහ පුත්‍රයකුගේ පියාණන් වූ ඔහු මිය යනවිට කොළඹ පදිංචිව සිටියේය.

අරගලය පැවැති අවස්ථාවේ අරගලකරුවන්ට පරදීමට පෙළඹවීමක් කළායි සනත් නිශාන්ත ට දැඩි චෝදනා එල්ලවී තිබූ අතර අධිකරණයට අපහාස කිරීම ඇතුළු විවිධ ආන්දෝළනාත්මක සිද්ධීන් නිසා මෑතකදී වඩාත් කතාබහට ලක්වූ දේශපාලනඥයකු විය.

හදිසි රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ගේ දේහය බොරැල්ල ජයරත්න (The Respect) මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, එය අද (26 වැනිදා) පෙරවරු 10.30 ට රාජ්‍ය අමාත්‍යවරයාගේ හලාවත ආරච්චිකට්ටුව පිහිටි නිවස වෙත රැගෙන යෑමට නියමිතය.

රාජ්‍ය ඇමැතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (28 වැනිදා) සවස හලාවත, ආරච්චිකට්ටුවේ රජක දළුව කතෝලික සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතය.

  • හේමන්ත රන්දුණු / නෝමන් පළිහවඩන/ අමරනන්ද විජේසේකර-මහවැව/ ටී. කේ. ජී. කපිල-කටුනායක/ දුන්ගාල්පිටිය-ජූඩ් හෙට්ටිආරච්චි/ කැලණිය – මංගලා මදුරප්පෙරුම
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනතුරට හේතුව කුඩ්ඩන් වයර් කැපීම . . .

Fri Jan 26 , 2024
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් සිදුකරමින් සිදු වූ රිය අනතුරට හේතුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඇති දැඩි අඳුරු ස්වභාවය දැයි සැකයක් ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් මාර්ගය දෙපස භූගත විදුලි රැහැන් කපාගෙන යාම නිසා විදුලි ලාම්පු කණු සවිකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x