අශිෂ්ඨ දේශපාලනයේ අවසානය ? . . .

2024 වසරේ පළමු පුර පොහෝ දින එළිවන යාමයේ කවුරුත් තිගැස්සුමට පත් කළ ප්‍රවෘත්තියක් මගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලෙස පැමිණියේ මා අවදි කරමින්ය. එය විදේශගතව ඉන්නා මගේ දිගුකාලීන මිතුරෙකුගෙන් විය. “මචෝ….මෙන්න පට්ට නිවුස් එකක්…. ආරංචිද? අර පුත්තලමෙ මැරයා, පිස්සා….ඌ කටුනායක හයිවේ එකේ ඇක්සිඩන්ට් එකකින් මැරිලා….මහ රෑ”. එහි ඔහුගේ සතුට, තෘප්තිය නොඅඩුව ලියැවී තිබිණ.

ඒ සමග බොහෝ දේ සිතට නැගුණු හෙයින් නැවත නින්දට නොගොසින් මා මගේ පරිගණකයෙහි වාඩිවූයේ බොහෝ විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි අකල් වියෝව සම්බන්ධ පළමු සටහන විය හැකි කෙටි සටහනක් මගේ ආසන්න හිතවතුන් වෙත ලියා යවන්නටය. මේ එහි ආරම්භයෙන් කොටසකි. “ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ.ය විසින් ජනාධිපති ප්‍රේමදාසව ඝාතනය කළ ප්‍රවෘත්තිය ඇසුණු සැනින් රතිඤ්ඤා පත්තුකර කිරිබත් කෑ මිනිස්සු, ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ අවසන් කළ යුද්ධයෙන් ප්‍රභාකරන් ඝාතනය කළ ප්‍රවෘත්තිය අසා නැවත රතිඤ්ඤා පත්තුකර දින ගණන් කිරිබත් කෑවා. මහින්ද රාජපක්ෂ ඔවුන්ගේ ත්‍රීසිංහලේ මහරජාණෝ යැයි ගීත ගැයුවා. ඊළගට පසුගිය 2023 අවුරුද්දේ මැද භාගයේදී ප්‍රභාකරන් සමග එල්.ටී.ටී.ඊ.යම විනාශ කළ ඒ මහින්ද රාජපක්ෂ අන්තිම අසාධ්‍යයැයිද පෞද්ගලික රෝහලක ඔහුට ප්‍රතිකාර කෙරෙන්නේ යැයිද දින 03-04 ක් තිස්සේ වර්ධනය කළ ප්‍රවෘත්තියකින් ඔහුට අවසන් ගමන් යෑමට ඇති දින ගණන් කළ අමන මාධ්‍යවේදීන්ගේ වෙබ් පුවත් අඩවි වහ වහා දහස් ගණනින් ‘ශෙයා’ කර ‘ලයික්’ කෙරුවේද ඒ සැදැහවත් බැතිමතුන්මයි.”

නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.ඇස්. සේනානායක, ඔහුගේ අසුපිටෙන් වැටී 1952 මාර්තු මාසයේදී මියගිය විට, කිසිවකු සතුටු වූයේ නැත. අවම තරමින් ඔහු විසින් 1948 දී පුරවැසිකම හා ඡන්ද බලය අහෝසි කර අපත ශ්‍රමිකයන් බවට පත් කළ අට ලක්ෂයක් පමණ වූ වැවිලිකරයේ දෙමළ ජනතාව හෝ රතිඤ්ඤා පත්තුකර කිරිබත් කෑවේ නැත. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරමින් සමස්ත දෙමළ ජනතාවටම ඔවුන්ගේ බසින් ලාංකීය රජය සමග ගනුදෙනු කිරීමේ අයිතිය 1956 දී අහෝසි කර ඔවුන් දීර්ඝ දේශපාලන අර්බුදයකට හසු කළ අගමැති බණ්ඩාරනායක 1959 සැප්තැම්බරයේදී ඝාතනය කෙරුණු විට ඒ දෙමළ ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තු කෙරුවේ නැත. ‘80 ජූලි වර්ජනය මර්දනය කර තනි තීන්දුවකින් රාජ්‍ය සේවකයන් 43,000 ක් එකවර දොට්ට දැමූ එවක ජනාධිපති ජයවර්ධන 1996 දී මියගිය විට රජයේ වෘත්තීය සමිති හෝ රජයේ සේවකයන් ප්‍රීති ඝෝෂා කෙරුවේ නැත.

එසේ නම් පළමු වරට ජනාධිපති ප්‍රේමදාසගේ මරණයේදී ප්‍රීති ඝෝෂා කරමින් සතුටුවීමට හේතු වූයේ කුමක්ද? ලාංකීය දේශපාලනය පරෙස්සමෙන් විමසීමේදී දෙමළ ජාතික දේශපාලනය සන්නද්ධ කණ්ඩායම්වලට නතු වූ පසු එහි අධිකාරී බලය තම අතට ගැනීමට එල්.ටී.ටී.ඊ.ය සිය විරුද්ධවාදීන් ඝාතනය කර, ඔවුන් “පාවාදෙන්නන්” නැතිනම් “රජයේ ඔත්තුකරුවන්” යැයි හංවඩු ගැසීම දැකිය හැකිය. “ලයිට් කණු ඝාතන” යැයි එවැනි ඝාතන ප්‍රසිද්ධ වූයේ ඝාතනය කෙරුණු විරුද්ධවාදියා ප්‍රදේශයෙහි ලයිට් කණුවක එල්ලා ඔහු “පාවාදෙන්නෙක්” නැතිනම් “රජයේ ඔත්තුකරුවෙක්” යැයි අපහාස කිරීමේ නින්දා කිරීමේ පිළිවෙතක් එල්.ටී.ටී.ඊ.ය අනුගමනය කිරීම නිසාවෙනි. විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමේ ඒ තුච්ඡ පිළිවෙත යුද්ධය අවසන්වීමත් සමග දෙමළ දේශපාලනයෙන් තුරන් විය.

දකුණේ කතාවෙහි පසුවදන මඳක් වෙනස් වූවකි. රටේ දේශපාලන බලය තීන්දු කෙරෙන්නේ දකුණෙහිය. දකුණේ සියලු දේශපාලන පක්ෂ ඒ ආණ්ඩු බලය සඳහා සිංහල බෞද්ධ ඡන්ද වෙනුවෙන් තරග වදින්නාහ. එබැවින් 1987 ජුලි මස ජනාධිපති ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් උතුරු-නැගෙනහිර පළාත් සඳහා ඉන්දීය සාම සාධක හමුදා කඳවුරුගත කිරීමත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග පළාත් සභා පිහිටුවීමත් ශ්‍රී ලංකාවේ “ඒකීය රාජ්‍ය” සහ ස්වාධීනත්වය පාවාදීමක් යැයි ශ්‍රී.ල.නි.ප නායකයෝ ඊට ප්‍රසිද්ධියේ විරුද්ධ වූහ. එහි වාසිය ගනු ලැබූයේ  ආවේනික ඉන්දීය විරෝධයක් ඇතිව දේශපාලනය ගණන් හැදූ ජ.වි.පෙ නායකයන්ය. පළාත් සභා මැතිවරණ වර්ජනය කළ ශ්‍රී.ල.නි.ප විසින් සිංහල ග්‍රාමීය ප්‍රදේශ වෙත ගෙන ගිය එ.ජා.ප විරෝධය, ජ.වි.පෙ විසින් එ.ජා.ප ආණ්ඩුව අස්ථාවර කිරීමේ ඔවුන්ගේ 88’ – 90’ දෙවැනි ත්‍රස්තවාදී කැරැල්ල සඳහා යොදා ගනු ලැබීය. එහි තිබූ අමනකම වූයේ ඔවුන්ගේ ත්‍රස්තවාදය රජය හා ගැටුමට එල්ල නොකර, පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි ප්‍රාදේශීය වාමවාදී ක්‍රියාකාරීන් ඝාතනය කිරීමට යොදා ගැනීමෙහිය. වසර දෙකකට වැඩි ඔවුන්ගේ ත්‍රස්තවාදයෙහි සමස්ත ක්‍රියාකාරිත්වය තිබූයේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ සහ “කැලෑ උසාවි” පැවැත්වීමෙහිය.

එවැනි ඝාතන යුක්ති යුක්ත කිරීමේ පිළිවෙත වූයේ ජ.වි.පෙ දේශප්‍රේමී ඝාතන කල්ලි විසින් ඝාතනය කෙරුණු සියල්ලන්ට අපහාස කිරීමේ ගැරහීමේ කොන්දේසි ලෙස, අවසන් ගෞරව දැක්වීමේ සියලු කටයුතු තහනම් කිරීමය. පාංශුකූලය දීමේ සිට සියලු ආගමික වතාවන් තහනම් කෙරිණ. අවමංගල රථ තහනම් කෙරිණ. රැගෙන යන්නන්ගේ දණහිසට පහතින් මිනිය ඔසවා ගෙන යා යුතු විය. ආදාහන තහනම් විය. භූමදානය කිරීමේදී සාමාන්‍ය පෙනුමක් සඳහා පොළොව සමතලා කළ යුතු විය.

එනමුත් ඇතැම් අවස්ථාවලදී වමේ දේශපාලන පක්ෂ මැදිහත්ව ජ.වි.පෙ දේශප්‍රේමී කොන්දේසි ප්‍රසිද්ධියේ කැඩූහ. ඇතැම් අවසන් කටයුතු සඳහා විජය කුමාරණතුංගද සහභාගි විය. එහෙත් මරණය හමුවේ ප්‍රීති ඝෝෂා කර මිය ගියවුන්ට අපහාස කිරීමේ අශීලාචාර මානසිකත්වයක් යම් පමණකට සමාජගතව තිබිණ. එය විශේෂයෙන් අර්ධ නාගරික එ.ජා.ප විරෝධි දේශපාලනය විසින් ඩැහැ ගනු ලැබූවක් විය. ජනාධිපති ප්‍රේමදාස යටතේ නායකත්වයද සමග ජ.වි.පෙ විනාශ කිරීමේදී තරුණන් මහ මග පුළුස්සා දැමීම “ටයර් ඝාතන” ලෙස නම් කිරීමක් වූයේද ඒ විරෝධය සමගින්ය.

ජ.වි.පෙ සමූල ඝාතනයෙන් වසර දෙකහමාරකට පමණ පසු 1993 මැයි දින ප්‍රේමදාස ඝාතනය සමග පාරට පැමිණි වෛරී සතුට ශීලාචාර නොවුණත් එයට හේතු වන්නට වූයේ ජ.වි.පෙ හිතවාදීන් විසින් පලිගැනීමක් ලෙස ප්‍රේමදාස විරෝධය රතිඤ්ඤා සහ කිරිබත් සමග පාරට ගෙන ඒමය. එයට ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක දේශපාලනයේ වූ ප්‍රේමදාස විරෝධයද හවුල් වන්නට ඇත. ඉන් අනතුරුව සිංහල දකුණේ ජනතාව මරණයකදී පාරට පැමිණ රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවේ, අවුරුදු 30 ට ආසන්න උතුරු – නැගෙනහිර යුද්ධය අවසානයේ ප්‍රභාකරන්ද ඝාතනය කරනු ලැබුවේ යැයි වූ පුවතත් සමගින් ය. ඒ වෙනුවෙන් විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබිණ. ඒවා සතු විශේෂත්වයක් ලෙස සටහන් කළ යුත්තේ මේ අශීලාචාර සතුට වෙනුවෙන් මිනිසුන් ගොනු කරන්නට එකල අද මෙන් සමාජ මාධ්‍ය ජාල ප්‍රචලිතව නොතිබුණු වගය.

මිය ගියවුන් අතුරින් තෝරා ගත්තවුන්ට එරෙහිව වෛරී සතුටක් ගොනු කිරීමේ උත්සාහය සමාජ මාධ්‍ය ජාල හරහා කෙරෙන සංවිධානාත්මක දේශපාලනයකි. ඒ අනුව සනත් නිශාන්තගේ අවාසනාවන්ත හදිසි වියෝව සම්බන්ධ පුවත පිළිගනු ලැබුවේද සැණෙකින් වල් වැදුණු සමාජ මාධ්‍යයෙහි වයිරසයක් වූ “ජොලියකිනි”. අසික්කිත භාෂාවකින් ලියැවුණු කෙටි සටහන් කිරීම් සමගය. ඇතැමුන් මහින්ද රාජපක්ෂ ඊළග අපේක්ෂකයා යැයි නම් කර යවන්නට තරම් තිරිසන් වූහ. එහෙත් ඒ කිසිවක් සමාජයේ පැල නොවුණි. සනත් නිශාන්තගේ මැර දේශපාලනය අසික්කිත දේශපාලනයක් යැයි හෙළා දුටු, ප්‍රතික්ෂේප කළ නාගරික මැද පංතියද සමාජ මාධ්‍ය ජාලවල තිබූ අසික්කිත ප්‍රීති ඝෝෂා සමග හවුල් නොවූහ. සමාජ මාධ්‍යයෙහි ගොනු කළ විරෝධය අසාර්ථක යැයි ඔප්පු කරමින් සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුව තෙක් ගෙන ගිය මග දෙපස ඉතා විනීතව පිරිස් රැස්ව සිටියහ.

සනත් නිශාන්තගේ මැර ජීවිතය ඉතා හොඳින් දන්නා ආරච්චිකට්ටුව හා පුත්තලම ජනතාව අතර ඔහුට එරෙහි කිසිදු වෛරී ප්‍රකාශයක් ඔහුගේ මරණය සමගින් අසන්නට නොවුණි. පුදුමයක් නොවේ. ඔහු ප්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාවටත් එතැනින් පාර්ලිමේන්තුවටත් තෝරා පත් කළෝ ඔවුහුය. තෙවරක්ම වයඹ පළාත් සභාවට තෝරා පත් කිරීමේදී තෙවැනි වර ඔහු මනාප ඡන්ද 63,000 ට ආසන්න වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව 2013 දී ලබා ගත්තේය. පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීමේදීද ආරච්චිකට්ටුව හා පුත්තලම ජනතාව ඔහු මනාප ඡන්ද විශාල සංඛ්‍යාවක් සමග පත් කළහ. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ මනාප ඡන්ද සංඛ්‍යාව 80,000 ට වැඩි විය.

සමාජ මාධ්‍යයන්හි අපහාස කිරීම් ගැරහුම් ආරච්චිකට්ටුවේ හා පුත්තලම ජනතාවට අදාල නොවන්නේද? ඔවුන් අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවට වඩා වෙනස් ද? ඉතාම සරළ, පැහැදිලි පිළිතුර “නැත” යන්නය. යටත් විජිත ලංකාවේ 1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට වත්මන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණය තෙක් අවුරුදු 90 ට වැඩි කාලයක් පුරා සෑම දිස්ත්‍රික්කයකම ඡන්දදායකයන් තමන්ගේ ඡන්දය භාවිත කළේ, එය භාවිත කළ යුතු මූලික හා ප්‍රධානම කාරණාව සඳහා නොවේ. රටේ ඉදිරි සංවර්ධනය සඳහා සැළසුමක් සහිත ආණ්ඩුවක් තෝරා පත් කිරීමට නොවේ. එසේ නම් මේ රටේ ඡන්දය භාවිත කරනු ලැබූයේ කුමකටද? අතිශය ආත්මාර්ථකාමී කාරණා වෙනුවෙනි. රැකියාවක්, උසස්වීමක් ලබාගැනීමට, බාර් හෝ වැලි පර්මිට් ලබාගැනීමට, ඉදිකිරීම් කොන්තරාත් ගැනීමට, රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩල පත්වීමක් හෝ සභාපති කමක් වෙනුවෙන් නැතිනම් විදේශ තානාපතිකමක් ලබාගැනීම වැනි අතිශය ආත්මාර්ථකාමී පෞද්ගලික වාසි වෙනුවෙන් පමණි. ඒ වෙනුවෙන් අපේක්ෂකයකු තේරීමේදීද ජාතිය, ආගම, කුලය වැදගත් සාධකයක් වන්නේය.

එවැනි ඉතා පටු, වැඩවසම් තේරීම් වෙනුවෙන් පත්කර ගනු ලබන ආණ්ඩු කිසිවක් යහපාලනයක් හා සංවර්ධනයක් වෙනුවෙන් ජනතාවට බැඳීමක් නැත. ඔවුන් පත් කරන්නේ ඒ වෙනුවෙන් නොවන හෙයිනි. එබැවින් රටට ජනතාවට වග නොකියන එවැනි ආණ්ඩු යටතේ දුප්පත්කම, ජීවන වියදම, සමාජ අපරාධ විශාල වශයෙන් ඉහළ යන විට විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික සමාජයන්හි සමාජ අසහනයක් වෛරයක් නිතැතින්ම ආණ්ඩු විරෝධයක් ලෙස මෝදු වන්නේ ඔවුන් ඡන්දය දුන්නේ ඒ වෙනුවෙන් නොවන බව ද නොසලකා හරිමින්ය. ඒ වෛරය විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන්හි අතිශය අශිෂ්ට බසකින් ප්‍රකාශ වන්නේ පුද්ගලවාදී ප්‍රහාර ලෙසින්ය. සමාජ මාධ්‍ය ජාලයන්හි දෝරේ ගලන එවැනි පුද්ගලවාදී වෛරී ආණ්ඩු විරෝධ සමගින් විසඳුම් සෙවිල්ලක් නැත. එක අශීලාචාර සංස්කෘතියක් තවත් එවැනිම හෝ ඊටත් වඩා අශිෂ්ට අශීලාචාර සංස්කෘතියකින් පිරිසුදු කළ නොහැක.

එබැවින් විපක්ෂය ඉල්ලා සිටින මැතිවරණ ලබාගත යුත්තේ මා කිහිපවර මෙහි කියා ඇති අයුරු ඡන්දය භාවිත කිරීමේ සමාජ වගකීම පිළිබඳ බිම් මට්ටමේ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්ද සමගින්ය. තරග වදින සියලු දේශපාලන පක්ෂ වලින් ජාතික සංවර්ධනය සම්බන්ධ ඔවුන්ගේ සැලසුම ප්‍රශ්න කරන්නාවූ ඡන්දදායක මානසිකත්වයක් හැදීමේ සමාජ ව්‍යාපාරයක් සමගින්ය. එහි සමාජ සාධාරණත්වය සම්බන්ධ අන්තර්ගතය ගැන ප්‍රශ්න කිරීමේ මානසිකත්වයක් විය යුතුය.

සියලු දේශපාලන පක්ෂ තම තමන්ගේ සංවර්ධන සැලසුම් මැතිවරණයට කලින් ඉදිරිපත් කළ යුතු යැයි ජනාධිපති වික්‍රමසිංහ මීට සතියකට හමාරකට ඉහතින් කියා සිටියේය. එහි උත්ප්‍රාසය ඇත්තේ මෙතෙක් කිසිදු මැතිවරණයකදී පමණක් නොව, පසුගිය 2023 මාර්තුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම හා ඊට අදාළ ඔහුගේ ආණ්ඩුවේ සැලසුම පූර්ණ වශයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකළ නායකයකු අනෙකුන්ට සිය සැලසුම් ඉදිරිපත් කරන්නට යැයි කීමෙහිය. එහෙත් ඔහුගේ ඒ යෝජනාවෙහි වටිනාකම ඉන් අඩු වන්නේ නැත. එය අනෙකුත් සංවිධාන, වෘත්තිකයන්ගේ හා විශ්ව විද්‍යාල ඇදුරන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, ධීවර හා ගොවි සංවිධාන වැනි සංවිධිත පිරිස් ද පෙනී සිටිය යුතු ඉල්ලීමකි. තව තවත් සනත් නිශාන්තලා වෙනත් දිස්ත්‍රික්ක වලින්ද බිහි නොවන්නට අලුත් වැදගත් දේශපාලන සංස්කෘතියකට ඉඩ ලැබෙන්නේ එලෙසිනි. සමාජ වගකීම් බාර ගන්නා දැනුවත් ඡන්දදායකයන් ඉන්නා සමාජයකිනි.

  • කුසල් පෙරේරා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිල්ලි ගුවන් ගමන්වලට මීදුමෙන් බලපෑම් . . .

Mon Feb 5 , 2024
අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් දිල්ලියේ ගුවන් ගමන් සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ම අද (05) දිනයේ ප්‍රමාද වනු ඇති බව ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසයි. යාවත්කාලීන ගුවන් ගමන් තොරතුරු පිළිබඳව අදාළ සමාගම් සම්බන්ධ කර ගනිමින් මගීන්ව දැනුවත් කර තිබේ. ඊයේ (04) දිනයේ එම ප්‍රදේශයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x