මීගමුවේ ලෙල්ලම . . .

ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය නීයෝග කර තිබේ.

මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව පසුගියදා කැඳවු අවස්ථාවේදිය.

කොළඹ අගරදගුරු හිමිපාණන්ට අයත් දේපොළක් තෑගි ඔප්පුවක් මඟින් ” ලෙල්ලම” ධීවර වෙළෙඳ මධ්‍යස්ථානය සඳහා පිටිපන එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී ඇත්තේ 1963 වර්ෂයේදීය.

අදාළ පවරාදීමේදී එම දේපොළවලින් උපයන ආදායමෙන් කොටසක් පිටිපන දේවස්ථානය වෙත භාරදිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත්තේ පිටිපන මීසමේ ජීවත්වන අඩු ආදායම්ලාභි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැයකිරීම වෙනුවෙනි.

කෙසේ වෙතත් එම කොන්දේසිය උල්ලංඝනය කරමින් අදාළ දේපොළේ ආදායම තනිව භූක්ති විඳීමටත්, කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපොළ කොටස් සහ කඩකාමර වෙනත් පිරිස් වෙත බදු දීමටත් පිටිපන එක්සත් ධීවර සමිතිය කටයුතු කිරීම හේතුවෙන් අදාළ තෑගි ඔප්පුව අවලංගු කිරීමට අගරදගුරු හිමිපාණන් කටයුතු කර තිබුණි.

එසේ තෑගි ඔප්පුව අවලංගු කර තිබියදිත් නීතිවිරෝධි ලෙස අදාළ දේපොළේ දිගින් දිගටම රැඳී සිටිමට පිටිපන එක්සත් ධීවර සමිතිය කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු හිමිපාණන් මීගමුව දිසා අධිකරණය හමුවේ නඩු පැවරීය.

ඒ පිටිපන එක්සත් ධීවර සමිතියේ සභාපති එන්. අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම් ජේ එඩිසන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික ඒ. ජේ නිශාන්ත ප්‍රනාන්දු යන අයට එරෙහිවය.

එහිදි පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ලෙල්ලම ධීවර වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටි දේපොළ කොළඹ අගරදගුරු හිමිපාණන්ට අයත් බවට නියෝගයක් නිකුත් කරමින් විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් එම දේපොළෙන් ඉවත් කර එම දේපොළේ භුක්තිය තමන් වෙත ලබා දෙන ලෙස ය.

එසේම එම නඩුව අසා නිමවන තෙක් අදාල දේපොළ කළමනාකරණය සඳහා සුදුසු භාරකරුවෙකු පත් කරන ලෙසත් ඊට අදාළ ගිණුම් සහ මුදල් ඔහුට භාරදීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව මීට අදාළව මීගමුව දිසා අධිකරණය හමුවේ දීර්ඝ සාක්ෂි විමසීමක් සිදුවූ අතර පැමිණිල්ල මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර විසින්ද, විත්තිය වෙනුවෙන් පෙනී සිටිම ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය සුනිල් කුරේ සිදුකළේය.

දීර්ඝ වශයෙන් සිදුකරන ලද සාක්ෂි විමසීමකින් පසු පසුගිය සිකුරාදා මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර තුරු නියෝගයක් නිකුත් කරමින් “ලෙල්ලම” පවත්වාගෙන යන දේපොළ පරිපාලනය සහ කළමනාකරණය සිදුකිරීම සඳහා භාරකරුවෙකු පත්කරන ලෙස පැමිණිල්ලට නියෝග කළේය.

එසේම එලෙස පත්කරන භාරකරු වෙත එම ධීවර වෙළඳ මධ්‍යස්ථානය පිහිටි දේපොළේ සන්තකය, දේපොළ ට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලුම මුදල් ද භාරදෙන ලෙස දිසාවිනිසුරුවරයා විත්තිකරුවන්ට නියෝග කර සිටියේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජීවිත 112ක් බිලිගත් මාරාන්තික ගින්න . . .

Mon Feb 5 , 2024
චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර තත්ත්වය සමනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවයි. මෙය චිලියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x