සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ සිය ජීවන ගමන නිමා කළේය.
ඔහු මියයන විට අසූ අට වියේ පසු විය.
චිත්‍ර ශිල්පියෙකු, කවියෙකු, ලේඛකයෙකු, උපහාස රචකයෙකු ලෙස පත්තර කලාවේ සෑම ඉසව්වක ම දස්කම් පෑ ඔහු ජීවිතය අවසානයේ ජනප්‍රියව සිටියේ දේශපාලන කාටූන් ශිල්පියකු ලෙස ය. ඒ, දිනපතා ‘ලංකාදීප’ය ඔස්සේ පාඨකයන්ට තිළිණ කළ, ‘ඒතුමා’, ‘පලාමල්ල’ යන කාටූන් යුගළයෙනි.
තලන්ගම උපන්නේ තලන්ගමදී ය. ඒ, 1936 ජූලි 5 වන දා ය. ඔහුගේ උප්පැන්නයේ නම සඳහන්ව ඇත්තේ ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ කියා ය. ඒ යටත් විජිත යුගය යි. ඔහුගේ තාත්තා, ජෝර්ජ් ඇල්බට් ජයසිංහ, ඔහුට එසේ නම තැබුවේ එකල පැවති සුද්දාගේ පාලන කාලයට ගැලපෙන්නට ය. ඒ නමට පුතා පොඩ්ඩක්වත් කැමති වුණේ නැත. ඒත් තාත්තා ආසාවෙන් තැබූ නම මිය යනතුරු ඔහු පාවිචිචි කළේ ය. 1955දී සිදුවූ පියාගේ අභාවයෙන් පසු ඔහු ඒ නම වෙනස් කළේ ‘තලන්ගම ජයසිංහ’ ලෙසිනි.
තලන්ගම පුංචි කාලේ සිට ම කවියට දක්ෂ ය. ඔහු පාසල් යන කාලේ ළමා සඟරාවලට, පත්තරවල ළමා පිටුවලට කවි නිර්මාණ යැව්වේ ඊට අදාළ චිත්‍රයකුත් සමග ය. චිත්‍රයක් යවන හැම විට ම ඊට අදාළ කවි පදයකුත් යටින් ලියලා යැවීම ඔහුගේ සිරිත විය. ඒ හැම එකක් ම කවියත් සමඟ පත්තරවල පළ වූ නිසා ඔහු තවත් අඳින්නත් ලියන්නත් දිරිමත් විය. ඒ කාලේ ඒවා පළ වූයේ ‘තලන්ගම තිලක ජයසිංහ’ කියා ය. පසු කලෙක ඒ ‘තිලකය’ත් හැළූ ඔහු, ‘තලන්ගම ජයසිංහ’ විය.
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තලන්ගම ලලිත කලාවන් ඉගෙනීමට එකල තිබුණු එකම තැන වූ හේවුඩ් ආයතනයට ගියේ තමන් සහජයෙන් ලද දස්කම් ඔපමට්ටම් කර ගන්නට ය. ඒ 1951දී ය. පස් අවුරුදු පාඨමාලාවකට බැඳුණ ද ඔහුගේ දක්ෂතා හඳුනා ගත් ගුරුවරු ඔහුට දෙවරක් ම ‘ඩබල් ප්‍රොමෝෂන්’ දුන්හ. ඒ නිසා අනිත් අයට වඩා කෙටි කලෙකින් ඔහු ඒ පාඨමාලාව සම්පූර්ණ කළේය. ඔහු එහිදී ඉගෙන ගත්තේ චිත්‍රවලට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයයි. ඒ හැරෙන්නට නිවාස සැලසුම් කිරීම ගැනත් ඉගෙන ගත්තේ ය. ඒ සමග ම ඔහු මරදානේ ‘ටෙක්නිකල් කොලීජීය’ටත් ගියේ ය. ඒ චිත්‍ර කලාවේ තාක්ෂණික පැත්ත හදාරන්නට ය.
ඉගෙන ගන්නා අතර ම ඔහු වෙළෙඳ දැන්වීම් ආයතන කීපයක ම රැකියාවට ගියේ ඉගෙන ගන්න හා ජීවත් වෙන්න අවශ්‍ය බරපැන සොයන්නට ය.
ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳ ගෙන දිනමිණ කන්තෝරුවට ගියේ ය. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතා ය. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළේ ය. විලේගොඩ මහතා ඔහුගේ නිර්මාණය දෙස බලා, “ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු” කියා භාර ගත්තේ ය. 1954දී ‘චිත්‍රා’ නමින් දිනමිණ පත්‍රයේ පළ වූ මුල් ම චිත්‍රකතාව එයයි. ඔහු ඒ වන විට 18 හැවිරිදි තරුණයෙකි.
තලන්ගම ‘මඩිස්සලේ’ නමින් කවි පන්තියක් සතිපතා සරසවි පත්‍රයට සැපයීය. අතිශය උපහාසාත්මක වූ ඒ කවි පන්තිය ඔස්සේ ඔහු සමාජයේ දුර්වල තැන්වලට පහර දුන් අයුරු අපූරු ය. උපහාසය හා හාස්‍යය මුසු කර කවි ලියන්නට ඔහු දැක්වූයේ අපූරු හපන්කමකි.
චිත්‍රකතා ලෝලයන් අතර තලන්ගම නමක් දිනා ගත්තේ සිළුමිණ පත්තරේට ඔහු නිර්මාණය කළ චිත්‍රකතාවලිනි. ‘සිළුමිණ’ ඔහුගේ ‘මිනිස් දඩයම’ චිත්‍රකතාව සඳහා එකල ඉතා ජනප්‍රිය විය.
තලන්ගම ‘සිළුමිණ’ පත්‍රයට බැ¾දුණේ 1956දී, චිත්‍ර ශිල්පියෙකු ලෙස ය. ‘සිළුමිණ’ පත්‍රයේ සේවයෙන් පසු ඔහු ලේක්හවුස් චිත්‍රකතා ප්‍රකාශනය වූ ‘මධුර’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගොස් 18 වසරක් එහි සේවය කළේ ය. 1998දී ඉන් විශ්‍රාම ගත් පසුත් ඔහු නොකඩවා 2005 වනතුරු චිත්‍රකතා ඇන්දේ ය. ඒ වන විට ඔහු විසින් චිත්‍රකතා 72කට වඩා නිර්මාණය කරනු ලැබ තිබිණි.
තලන්ගමගේ පත්‍රකලා ජීවිතයේ ස්වර්ණමය කාලය එළඹුණේ චිත්‍රකතා නිර්මාණය අත්හැර දේශපාලන කාටූන් අඳින්නට පටන් ගත්තාට පසුව ය. ඒ සියලු බැඳීම්වලින් මිදී නිදහසේ සිතුවිලි මෙහෙයවමින් ඔහු තමන්ට කියන්න කැමති දේ කැමැති විධියට කියන්න ඉන් ඔහුට අවස්ථාව සැලසුණු නිසා ය. ඒ අවස්ථාව ඔහු ලබා ගත්තේ ‘ලංකාදීප’ පත්‍රයේ ‘පලාමල්ල’ හා ‘ඒතුමා’ යන කාටූන් ඔස්සේ ය. ඒ වගේ ම ඔහුගේ කාව්‍ය උපහාසය ද ‘අනේද කියන්නේ’ සිවුපද හතරෙන් විඳ ගැනීමට ඉඩහසර ලැබිණි. ඒවා තුළින් දේශපාලනය ගැන ඔහු දරන දෘෂ්ටියත්, ඔහුගේ උපහාසය තරාතිරම නොබලා එල්ල කරන හැටිත්, දැක ගතහැකි විය. පුවත්පත් නොබලන්නකුට වුවත් ඒවා උදේ පත්තර ගැන කියන රූපවාහිනි නාළිකාවලින් හැමදා ම උදේට ඒවා නොවැරදී ම දැක ගන්නත්, රස විඳින්නත් හැකියාව සැලසිණි.
ඔහුගේ උපහාස ගඟුල අද මෙසේ නැවතුණ ද ඔහු මෙතෙක් කල් බෙදා දුන් රසය අප තුළ බොහෝ කලක් පවතිනු නිසැක ය.
ඔහුට නිවන් සුව අත්වේවා!
(ස්තූතිය ප්‍රවීණ මාධ්‍යවේදී පර්සි ජයමාන්න මහතාට)
- හරිශ්චන්ද්‍ර කහවල