දියණියගේ ගීතයෙන් සංවේදී වූ ගිරිරාජ් . . .

අමන්ද්‍යා උත්පලීගේ ‘රැජිනට ඇන්දා වේදිකාවට’ ප්‍රසංගය පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී නිමා වුණේ ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින්. ‘රැජිනට ඇන්දා වේදිකාවට’ ප්‍රසංගයේ උත්පලී තම පියා වෙනුවෙන් ගායනා කළ මුල්ම ගීතයට ඉහළ ප්‍රතිචාර වගේම දැඩි සංවේදී බවකුත් එක් කළා. ඒ මොහොතේ මහරගම අපේක්ෂා රෝහලේ සිට දියණියගේ ප්‍රසංගය ස්ක්‍රින් තාක්ෂණය ඔස්සේ නැරඹූ ගිරිරාජ් කෞශල්‍යට කියන්න බොහෝමයක් හිතේ තිබූ බව නොරහසක්. ඒ හැඟීම ඔහු පිනිපලසත් එක්ක බෙදාගත්තා.

මේ වෙලාවේ කොහෙද ඉන්නේ?

තවම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

“රැජිනට ඇන්දා වේදිකාවට” ප්‍රසංගය පටන් ගන්නේ තාත්තට ගැයෙන ගීතයකින්… ගීතය ඇහෙද්දී මොකද හිතුණේ?

ඇත්තටම ඒ ගීතය අහද්දී නම් මට ලෙඩත් අමතක වුණා. මම ඉන්නේ මේ රෝහලේ කියන එකත් අමතක වුණා. ඒ එක්කම අවසානයේ, තාත්තේ ඇත්තමයි වේදිකාවෙන් එහා මං දැකපු සිංහයා නුඹමයි. මහ අමුතු සිංහයා නුඹමයි… කියලා ගයද්දී එක මොහොතක ගායනා කර ගන්න බැරුව නතර වෙද්දී, ඇත්තටම මට මගේ හෘදස්පන්දනයත් නතර වුණා වගේ දැනුණා. අපි හතර දෙනාම ගෙදර ජීවත් වුණේ එකම පවුලක් විදියට හරිම ආදරෙන් සහ සතුටින්. එහෙම පවුලක පොඩි දුව වේදිකාව මත මෙහෙම ගයද්දී මට දැනුණේ තව තවත් අපි අතරේ තියෙන සෙනෙහස බැඳීම. අනිත් අතට මම තෝරා ගත් කලාව ම මගේ දරුවෙක් තෝරාගෙන එයා ඒ මග යනවා දකින එක තරම් සතුටක් තවත් කොහෙන්ද?

ලයිව් ස්ක්‍රින් තාක්ෂණය ඔස්සේ තමයි ඔබට නරඹන්නට වුණේ, ඒ හැඟීම කොහොමද?

වචනවලින් කියන්න බැරි හැඟීමක් දැනුණු මොහොතක්. ඔයත් දුවෙක්. ඔයා තාත්තාගෙන් ඇහුවොත් මම මේ කියන ටිකම කියයි. තාත්තා සහ දූලා අතරේ තියෙන බැඳීම කොයිතරම් ද කියන එක ඔබත් හොඳින්ම දන්නවනේ. මටත් අමන්ද්‍යා විතරක් නෙවෙයි, කවින්ද්‍යා ලොකු දුව එක්කත් තියෙන්නේ ලොකු බැඳීමක්. විශේෂයෙන් ඒ දෙන්නා මා එක්ක තමයි බැඳීමෙන් ඉන්නේ. කවදාවත් මට බොරුවක් කියන්නේ නැහැ. හැමදේම මට කියනවා. ඒ තරම් තාත්තට ආදරෙයි. මම ඉන්නේ වෝර්ට්ස් එජ් එක ඇතුළේ අසුනක වාඩිවෙලා ඉන්න හැඟීම මට දැනුණේ.

හිතුවද රැජිනට ඇන්දා ගීතය මේ තරම් දුරක් පොඩි දුවව අරගෙන යයි කියලා?

මම හිතුවේ නැහැ මේ ගීතයට මේ තරම් විප්ලවයක් කරන්න පුළුවන් වෙයි කියලා. දුවත් ඒක හරියටම ගායනා කළා. මේ දුවගේ පටන් ගැන්ම විතරයි. දුවට තියෙන අනෙකුත් දක්ෂතා එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් මේ ගීතයත් එක්කම. රැජිනට ඇන්දා ගීතය තමයි අමන්ද්‍යාට ඒකපුද්ගල ප්‍රසංගයකට තරම් දුර ගමනක් යන්න පුළුවන් වුණේ.

අලුත්ම ගීතය නිර්මාණය කරලා තිබ්බේ කතරගම දෙවිඳුට කරන වෙනස්ම ආකාරයේ කන්නලව්වක්, ඒ ගැන කිව්වොත්?

මට ඕන වුණේ කලින් ගීතයට වඩා වෙනස් ගීතයක් නිර්මාණය කරලා දෙන්න. මේ ගීතයේ අදහස මගේ වුණාට මමම තනියම ලියපු ගීතයක් නෙවෙයි. මෙතැනදී මම වගේම ගීත් තරංගත් මෙහි පදමාලාව සකස් කළා. ගීත් තරංග කියන්නේ රන්වල බළකායේ ගොඩක් ගීත රචනා කරපු කෙනෙක්. ගීත් තමයි මම හිස් තැන් තියපු තැන් ටික පුරවලා ඉතාම හොඳ ගීතයක් බවට පත් කළේ. සංගීත පැත්ත ගත්තම සහන් රන්වල එතුමාගේ දක්ෂතාව අනුව මේ නිර්මාණවල සංගීත කටයුතු කරලා තියෙන්නේ. ගීතයේ සංකල්පය බිහිවුණේ මගේ අතින්. මට හරිම සතුටුයි දෙවැනි ගීතයත් ඉතාම හොඳින් කර ගන්න ලැබුණු එක ගැන.

ඉදිරියේදී දුවත් එක්කම වේදිකාව බෙදා ගන්න බලාපොරොත්තුවක් ඇති නේද?

අනිවාර්‌යෙන්ම තියෙනවා. මේ සැරෙත් මම හිතාගෙන හිටියා පිළිගැනීමේ කතාවක් වගේ පුංචි දෙයක් කියන්න ඉස්සරහට ඇවිත්. නමුත් හදිසියේම රෝහල්ගත වෙන්න වුණා. එතැනදී මට වෛද්‍ය උපදෙස් ලැබුණේ කිසිම අවස්ථාවක බාහිර සමාජයට විවෘත වෙන්න යන්න එපා. එහෙම වුණොත් විෂබීජයක් ඇතුලු වුණොත් නැවතත් රෝග තත්ත්වය උත්සන්න වෙන්න ඉඩ තියෙනවා කියලා. මගේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා පරිස්සම් වෙන්න කියලා.

දුවගේ සියලු හැකියාවන් එකම වේදිකාවක දකිද්දී මොකද හිතුණේ?

මගේ පැත්තෙන් බැලුවම මගේ හිත ඇතුළේ තිබ්බ දේ මේ වෙද්දී ඉටු වෙලා. ඒකට මම මොකක් හෝ පිනක් කරලා ඇති. මම සතුටු වෙනවා පොඩි දුවගේ සියලු දක්ෂතාවන් මේ වගේ වේදිකාවක් මත දකින්න. මම දැනගෙන හිටියෙත් නැහැ දුවට මේ තරම් හොඳින් නර්තනය පවා පුළුවන් කියන එක. දුව කිව්වනේ මට මේ ප්‍රසංගය මුළු ලෝකයම දැක්කත් වැඩක් නැහැ මගේ තාත්තා දකින්නේ නැතුව කියලා. මටත් එහෙම්ම තමයි මගේ දෙයක් මුළු ලෝකයම හොඳයි කිව්වත් වැඩක් නැහැ මගේ දුවලා මේක හොඳයි තාත්තේ කියන එක තරම්. ඒ තුළින් ලබන සතුට වචන කරන්න බැහැ.

  • අනුෂා රණසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔස්කාර් සම්මාන උළෙලේදී ජෝන් සීනා නිරුවත් වෙයි . . .

Mon Mar 11 , 2024
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය. ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් විය. මෙවර ඔස්කාර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x