යෝධ මාළුවෙක් මහනුවර වැවේ . . .

මාංශ භක්ෂක ඇලිගේටර් ගා (Alligator Gar) නැමැති අඩි 09ක් පමණ දිගට රාත්තල් 300ක් පමණ බරක් දක්වා වැඩෙන ආක්‍රමණික මත්ස්‍ය විශේෂය මහනුවර වැවේ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව තිබේ.

මේ හේතුවෙන් වැව ආශ්‍රිත පරිසර කලාපයේ ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත.

මසුන් පමණක් නොව කුරුල්ලන් පවා ආහාරයට ගන්නා මෙම මත්ස්‍ය විශේෂය හැකි ඉක්මනින් වැවෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් ‘ඇලිගේටර් ගා’ ග්‍රහණය තවත් ඉහළ ගොස් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

මහනුවර වැවේ උල්පැන් ගේ අසල සිට මහාමායා බාලිකාවේ ප්‍රාථමිකය දක්වා වූ කොටසේ ස්ථාන කිහිපයක දී මෙම මත්ස්‍යයා නිරීක්ෂණ වී තිබෙන අතර පුද්ගලයින් කිහිපදෙනකුම ඊට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීමට ද කටයුතු කර ඇත.

කිඹුලෙකුගේ හා සමාන මුහුණ ඇති විශාල ලෙස වැඩුණු මත්ස්‍යයකු වැවේ සිටින බවට ලද තොරතුරු මත සිදු කළ පරීක්ෂාවක දී අදාළ මත්ස්‍යා නිරීක්ෂණය වූ බවත් ඒ සම්බන්ධව නාරා ආයතනයට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් මහනුවර වැවේ පොලිස් ජීවිතාරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්නාත් යාපා කීය.

මහනුවර වැවේ සිටින මත්ස්‍යයාගේ ඡායාරූප අනුව එම සතා ‘ඇලිගේටර් ගා ‘ ලෙස නිරීක්ෂණය වන බවත් ‘ඇලිගේටරයකු’ ගේ මුහුණ ට සමාන මුහුණක් ඇති නිසා එම නම මෙම මත්ස්‍යාට ලැබී තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ හා පරිසර කළමනාකරණ) ආචාර්ය නලීන් ගමආරච්චිගේ කීය.

දකුණු හා මධ්‍යම අමෙරිකාව නිජබිම කර ගනිමින් හැදී වැඩුණු මෙම මත්ස්‍ය විශේෂය වෙනත් රටවල් ද ආක්‍රමණශීලි සත්ත්වයකු ලෙස සලකන බවත් සුරතල් සතෙකු ලෙස කාලයක් ඇතිකර ප්‍රමාණයෙන් විශාල වූ පසු මොවුන් ජල මූලාශ්‍රවලට මුදා හැරීම නිසා ඉදිරියේ දී බරපතළ ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු කීය.

‘ඇලිගේටර් ගා’ මත්ස්‍යයා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවත් මහනුවර වැවේ මෙම මත්ස්‍ය වර්ගය සිටින්නේ නම් ඔවුන් වැව් සොරව්වෙන් මැද ඇළට පැමිණ ඒ ඔස්සේ මහවැලි ගඟ දක්වා ගමන් කිරීමට හැකියාව තිබෙන බවත් මහවැලි ගඟේ අධි සංවේදී කාලපයක් වන හක්කිඳ දූපත් ආශ්‍රිතව පමණක් දැනට දක්නට ලැබෙන රතු දත්ත පොතට පවා ඇතුළත් කර තිබෙන ‘කොළ ගඩයා’ වැනි මසුන් පවා ආහාරයට ගැනීමෙන් එම මසුන් ලෝකයෙන්ම තුරන් වීමේ අවදානමක් මතුවන බවත් ගමආරච්චි ගේ මහතා කීය.

මෙම මත්ස්‍යයා සාමාන්‍ය පරිසරයට මුදා හැරීමේ බරපතළකම නොදන්නා කවුරුන් හෝ මහනුවර වැවට ගෙනවිත් දමන්නට ඇති බවත් ගහනය තවත් වැඩි වීමට පෙර මත්ස්‍යයා වැවෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් හෙතෙම පැවසුවේය.

ආක්‍රමණික ශාඛ හා සත්ත්ව විශේෂ ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණෙන බවත් ඒවා ව්‍යාප්ත වූ පසු පාලනය කිරීමට වඩා වැදගත් වන්නේ රටට ඇතුළු වීම වැලැක්වීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීම බවත් ඒ මහතා කීවේය.

  • අසේල කුරුළුවංශ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩීසල්වලට වතුර කලවම් වූ ඉන්ධන පිරවුම්හල . . .

Thu Mar 14 , 2024
බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලංගොඩ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලක ඩීසල් වලට ජලය මිශ්‍ර වී ඇති බව අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් විසින් සිදුකළ ඉන්ධන පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ. ඊ‌යේ (13) පස්වරුවේ එම ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී වාහන කිහිපයක් අතරමග නතර වී ඇත. එම වාහන හිමියන් මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x