එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි . . .

මෑතකදී කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අයකර ගැනීම සඳහා අදාල නෞකා සමාගමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියා මාර්ග මේ වන විට ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මේ බව සඳහන් කර සිටියේය.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාල නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග කවරේදැයි විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ” ස්වාමීනි… එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ හානිය වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට රජය විසින් ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ අපරාධ නඩුකරයක් මේ වන විට කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබෙනවා. එම නඩුව මේ මස 22 වනදා කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. ඊට අමතරව අදාළ නෞකාව ගිනිගැනීමෙන් ඇතිවූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අයකර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් තවත් නඩු දෙකක් ගොනු කිරීමට රජය කටයුතු කළා. ඉන් එක් නඩුවක් සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා. ඊට අදාළ විත්තියේ කරුණු දැක්වීම් ලබන මැයි මස 27 වනදා සිංගප්පූරු අධිකරණය හමුවේ සිදුකිරීමට නියමිතයි. ඊට අමතරව මෙම කරුණට අදාළව වන්දි ඉල්ලා තවත් නඩුවක් එක්සත් රාජධානියේ වාණිජ අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. එම නඩුවේ විභාගයද මේ වන විට ආරම්භ වී තිබෙනවා” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම කටයුතුවල ප්‍රගතිය තොරතුරු ලැබෙන පරිදි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්

” ස්වාමීනී… මෙම ඛේදවාචකය නිසා ධීවර පවුල් විශාල සංඛ්‍යාවක් අගතියට පත්ව සිටිනවා. ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවී තිබෙනවා. වන්දි ගෙවීමට අදාළව ධීවර අමාත්‍යංශයේ සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ පැවති රැස්වීම්වලට ධීවරයින් සහභාගි වී වුණා. එහෙත් ධීවරයින්ට මේ දක්වා වන්දි ලැබී නොමැති බව කණගාටුවෙන් සඳහන් කළ යුතුයි.” යනුවෙන් සඳහන් කළ නීතිඥවරිය අධිකරණය විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙම ඛේදවාචකයෙන් අගතියට පත් ධීවර පවුල් 2000 කට අධික පිරිසකට මෙතෙක් වන්දි හිමිවී නොමැති බවයි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් සැප්තැම්බර් මස දක්වා ගෙවීම් සිදුකළ වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළද එම වන්දි මුදල කොපමණදැයි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නැත. මේ දක්වා ගෙවා තිබෙන සම්පූර්ණ වන්දි සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් හා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියෙන් උපදෙස් ලබාගෙන මීළඟ දින සම්පූර්ණ කරුණු දැක්වීමක් අධිකරණය හමුවේ සිදු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ධීවරයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට දන්වා සිටියේ මෙතෙක් වන්දි මුදල් ලැබී නොමැති නම් ඒ සම්බන්ධයෙන් මුලින්ම ධීවර අමාත්‍යාංශයට සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි. මෙතෙක් වන්දි හිමි නොවූ ධීවරයින්ගේ නාම ලේඛනයක් අධිකරනයට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරියට නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම කරුණ සම්බන්ධයෙන් අදාල ආයතන නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු සොයා බැලීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියහ. ඉන් අනතුරුව අගතියට පත් ධීවර පවුල් වලට සහ අනෙකුත් පාර්ශ්වයන්ට මේ දක්වා ගෙවා තිබෙන වන්දි පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ සති දෙක තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කළහ.

ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය ජූලි මස 29, 30 සහ 31 වනදා දක්වා කල් තැබීමට ද විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානියෙන් අගතියට පත් ධීවරයින්ට සහ සෙසු අයට වන්දි ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය , සරත් ඉද්ද මල්ගොඩ පියතුමා ඇතුළු ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විමල් වික්‍රමසුරේන්ද්‍ර දිවියට සමු දෙයි . . .

Mon Mar 18 , 2024
ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පිවිසුම් දොරටුවේ මනස්කාන්ත පිත්තල කැටයම මෙන්ම සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් ඔහුගේ නිර්මාණ වේ. මෙරට රාජ්‍ය නායකයෙන් රැසක් නිර්මාණකරණයේදී ඔහු සමීපව ඇසුරු කොට ඇති අතර ඉන් කීප දෙනකු ඔහුගේ කළුතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x