දිනමිණ හිටපු කර්තෘ සරත් කුරේ අභාවප්‍රාප්තවේ . . .

‘දිනමිණ’ පුවත්පතේ හිටපු කර්තෘවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සරත් කුරේ මහතා ඊයේ (11) අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමෙන් අනතුරුව සවස 6.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරනු ලැබීය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන සරත් කුරේ මහතා මාධ්‍ය දිවිය අරඹන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ප්‍රකාශනය කළ මවුබිම පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමිනි. පසු කාලයේ එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත වූ දිනකර පත්‍රයේ කර්තෘවරයා වශයෙන් කලක් කටයුතු කළේය.

දේශපාලන පෙරළියත් සමඟ 1994 වසරේ ‘දිනමිණ’ කතෘවරයා වශයෙන් ලේක්හවුස් ආයතනයට එක්වූ ඒ මහතා පසුකාලයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධුරය ද දැරුවේය. ප්‍රකට විදෙස් විත්ති විචාරකයකි. චීන සහ ඉරාක පුවත්පත් ඒජන්සිවල ශ්‍රී ලංකා වාර්තාකරු වශයෙන් ද කාලයක්ම සරත් කුරේ මහතා සේවයේ නිරතව සිටියේය. සිංහලේ පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා ලෙස ද කටයුතු කර ඇති සරත් කුරේ මහතා දිනරැස පත්‍රයේ උපදේශක කර්තෘවරයා වශයෙන් කටයුතු කර ඇත.

සරත් කුරේ මහතා මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඔබ්බට යමින් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. ඒ හැරුණු කොට 1970දී ලංකා සළුසල ආයතනයේ ප්‍රචාරක නිලධාරියා ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ ද ඔහුය.

ඒ හැරුණු කොට සරත් කුරේ මහතා ගීත රචකයෙකි. වසර 1967 ඔක්තෝබර් 14දා තිරගත වූ ‘රෑන ගිරව්’ චිත්‍රපටයේ නන්දා මාලිනිය විසින් ගායනා කරන ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇති “ඈත සොඳුරු ලොවක් ඇතේ“ ගීතයේ රචකයා වන්නේ සරත් කුරේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ඉන් පිටතත් සිය ප්‍රතිභාව දැක්වූ සරත් කුරේ මහතා තරුණ මාධ්‍යවේදීන්ට ගුරුහරුකම් ලබා දුන් විශිෂ්ට පුවත්පත් කලාවේදියකි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැඩ නැති දුම්රිය විදුලි සංදේශ පද්ධතිය . . .

Fri Apr 12 , 2024
දුම්රිය කාර්යක්ෂමතාව නංවාලීම සඳහා රුපියල් මිලියන 3,148 ක් වැයකර ස්ථාපනය කරන ලද නව විදුලි සංදේශ පද්ධතිය පූර්ණ වශයෙන් මෙතෙක් භාවිතයට ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය“ මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිත වූවද, මේ දක්වා එහි ප්‍රගතිය සියයට 58 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x