කෝටි 240ක බෙහෙත් විසිකරලා . . .

රුපියල් මිලියන 2,482.12ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් ඉකුත් වර්ෂය තුළ (2023) භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගේෂ විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන් ම ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 10.72ක් වටිනා වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අතර අක්ෂි රෝග, පිළිකා රෝග, නිර්වින්දනය හා ප්‍රතිශක්තිකරණය සඳහා භාවිත කරනු ලබන ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වීම නිසා භාවිතයෙන් ඉවත්කොට තිබිණි.

මෙකී ඖෂධ භාවිතයෙන් පසු රෝගීන්ට අහිතකර ප්‍රතික්‍රියා ඇති වීම, රෝගීන් මරණයට පත්වීම, ඇස් අන්ධභාවයට පත්වීම ආදී ගැටලු මතුවී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා ගුණත්වයෙන් යුත් ඖෂධ රෝගීන් වෙත ලබා දීමට නොහැකි වී තිබිණි.

රුපියල් හාරකෝටි හත්ලක්ෂ, තිස්අටදහස් අටසිය දහනවයක මුදලක් (40,738,819) වැය කොට හදිසි මිල දී ගැනීම් යටතේ ශල්‍යකර්මවලදී නිර්වින්දනය සඳහා භාවිත කරනු ලබන බියුපිවිකේන් (Bupivacaine 0.5% + Glucose 8% inj.4 ml Amp.) ඖෂධයේ එන්නත් 68,750ක් වෛද්‍ය සැපයුම් අංශය මගින් මිල දී ගෙන තිබිණි. මෙකී ඖෂධය භාවිත කිරීම නිසා රෝගීන්ට ඇතිවූ බරපතළ අහිතකර ප්‍රතික්‍රියා සැලකිල්ලට ගෙන වහා ම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ භාවිත කිරීම අත්හිටුවා තිබිණි.

ඒ වනවිට මෙකී එන්නත් තොගයෙන් එන්නත් 34,705ක් හෙවත් මුළු තොගයෙන් සියයට 50ක් රෝගීන් වෙත නිකුත් කොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

කාණ්ඩ තුනකින් සමන්විත මෙකී ඖෂධ එන්නත් වෛද්‍ය සැපයීම් අංශයට ලද දිනයේ සිට ජාතික, මූලික, ශික්ෂණ යන රෝහල් සහ වෙනත් සෞඛ්‍ය ආයතන වෙත නිකුත්කර තිබිණි. මෙකී ඖෂධය භාවිත කළ පසු එක් ගැබිනි කාන්තාවක් මියගොස් තිබිණි. තවත් කාන්තාවකට ජීවිත තර්ජන ඇති වී තිබිණි. මෙකී ඖෂධ එන්නත් ඇණවුම ප්‍රදානය කොට ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවෙකු නොවන සමාගමකට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක් ලබා ගැනීමට යටත්ව බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන් ම, අක්ෂි රෝගීන් සඳහා සිදුකරන කැටරැක් ශල්‍යකර්මයෙන් පසු භාවිත කරනු ලබන ඖෂධය භාවිත කිරීමෙන් පස රෝගීන්ට සිදු වූ බරපතළ අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එම ඖෂධය භාවිතයෙන් ඉවත්කර තිබිණි. ඒ වනවිට ලැබී ඇති මුළු ඖෂධ ඒකක 21,510ක් හෙවත් ලැබී ඇති මුළු තොගයෙන් සියයට 43ක් රෝගීන් සඳහා භාවිත කොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි රෝහලේ රෝගීන් දෙදෙනෙකු පූර්ණ අන්ධභාවයට පත්ව තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ රෝගීන් 16 දෙනෙකු අසාත්මිකතාවට පත්වී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

වෛද්‍ය සැපයීම් අංශය විසින් සපයාගෙන තිබූ වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත් වූ පසු අදාළ සැපයුම්කරුවන්ගෙන් නිසි පරිදි මුදල් අය කරගෙන නොතිබිණි.

එමෙන් ම, අයකර ගත යුතු මුදල ගිණුම්ගත කිරීමට ද කටයුතු කර නොතිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 1663ක මුදලක් වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගෙන නොතිබිණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අය කරගත යුතු මුදල රුපියල් මිලියන 1,406.48කි. එම මුදල මේ වනතෙක් ඖෂධ නීතිගත සංස්ථාව විසින් අය කරගෙන නොතිබිණි. ඉන් රුපියල් මිලියන 685.68ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර රුපියල් මිලියන 165.80ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් මත ක්‍රියාකිරීම අත්හිටුවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රසම්පාදන අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති සැපයුම්කරුවන්ට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් නිකුත් කොට තිබිණි. මෙකී සැපයුම්කරුවන්ගේ සුදුසුකම් හා ඖෂධවල තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමකින් තොරව ඖෂධ සැපයීමට පහසුකම් ලබාදෙන බැවින් ඖෂධවල තත්ත්වය පිළිබඳ දැඩි අවදානමක් ඇති වී තිබිණි.

  • ලලිත් රුහුණගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින් . . .

Thu May 16 , 2024
නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීපයකින් රියදුරු අසුනේදීම ජීවිතක්ෂයට  පත්ව  ඇතැයි  ලිඳුල පොලීසිය පවසයි. මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රපාතයට පෙරළී නොගොස් බේරී ඇත්තේ අනු නවයෙන් බවත්, බස් රථය ප්‍රපාතය පාමුල කොන්ක්‍රීට් බැම්මක් මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x