හම්බන්තොටට පැමිනෙන චීන නෞකාව නිසා මතබේදයක් . . .

අගෝසතු 11 දා හම්බන්තොටට පැමිනෙන චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව මුල්කරගෙන ඉන්දියාව සහ චීනය අතර ශ්‍රී ලංකාව සම්බන්දයෙන් හටගෙන තිබෙන මතබේදකාරී තත්වය විමර්ශනය කරණ ලිපියක් බීබීසී සංදේශය වෙබ් අඩවියේ පලකර තිබේ.

කාලීන වැදගත් කම සලකා එය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත පලකෙරේ.

චීන පර්යේෂණ නෞකාවක් වන යුආන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට ළඟා වීම සම්බන්ධයෙන් මේවන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ. ඒ අදාළ නෞකාව ඉන්දීය සාගරයට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවදානයෙන් පසුවීම හේතුවෙනි. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දීය මාධ්‍ය මෙන්ම දකුණු ඉන්දීය දේශපාලනඥයින් හඳුන්වා ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක කර්නල් නලින් හෙරත් පැවසුවේ යුආන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරයාට ඇතුලු වීම සඳහා මේවන විට අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුව අගෝස්තු 11 සිට 17 දක්වා නෞකාව හම්බන්තොට නැංඟුරම් ලා තැබෙනු ඇත. ඉන්ධන වැනි සේවා පහසුකම් ලබා ගැනීම සඳහා නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බව ඔහු සඳහන් කළේය. “මෙය පළමුවරට පැමිණෙන නෞකාවක් නොවේ. චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, රුසියාව, අමෙරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලින් මීට පෙරත් නෞකා ආවා. වාණිජ නෞකා වගේ නාවික හමුදා නෞකා පැමිණෙනවා” ඔහු පැවසීය. “චීනයෙන් පළමු වරට එනවා නෙමේ. චීනයෙන් මෙවරත් ඉල්ලීමක් කරලා තිබ්බා. සාමාන්‍යයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් අපි කරන්නේ තත්ත්වය තක්සේරු කරලා අනුමැතිය දෙන එක. ඇසස්මන්ට් එකක් කරලා තමා අනුමැතිය දීලා තියෙන්නේ” ඔහු ප්‍රකාශ කළේය.

මොකද්ද මේ යුආන් වැන්ග් 5 නෞකාව

යුආන් වැන්ග් 5 නෞකාව YUAN WANG 5 (IMO: 9413054)  යනු 2007  (වසර 15 ට පෙර) ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවකි. එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 11,000 වන අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර පළල මීටර් 25.2 කි. යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි. චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී. 2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වූ නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ.

ඉන්දියාවේ දැඩි අවධානයට හා කනස්සල්ලට

අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ තාක්ෂණයෙන් සමන්විත යුවාන් වැන්ග් 5 පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා තිබුණේ ඔත්තු බැලීමේ චීන නෞකාවක් ලෙසය. නෞකාවේ ගුවන් ප්‍රවේශය කිලෝමීටර 750 ට වඩා වැඩි වන අතර ඉන් වක්‍රව අදහස් වන්නේ දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි ඉන්දීය දේශසීමා තුළ ඇති පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ හැකි බවද ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය. නෞකාවට කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන වරායන් ද නිරීක්ෂණය කළ හැකි බවත් දකුණු ඉන්දීය වරායන් හයක් පමණ චීනයේ අවධානයට ලක් වනු ඇති අතර, දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඇති වැදගත් මර්මස්ථානයන් පිළිබඳ තොරතුරු මෙම නෞකාවට රැස්කර ගත හැකි බවද ඉන්දීය මාධ්‍ය පැවසයි. මෙම නෞකාව පිළිබඳ පසුගිය සතිය මුලදී නවදිල්ලියේ අවධානයට ලක්වූ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, ඉන්දියාව “තම ආරක්ෂාවට හා ආර්ථික අභිලාශයන්ට බලපාන ඕනෑම වර්ධනයක් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන බවයි”. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ, මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනියත කළබලයක් ඇතිකර ගෙන ඇති බවයි. මේ අතර, “අදාළ පාර්ශ්වයන්” තම “නීත්‍යානුකූල නාවික කටයුතුවලට” මැදිහත් වීමෙන් වැළකී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

චීනය විසින් ඉදිකරන ලද සහ චීනයට බදු දී ඇති හම්බන්තොට වරාය චීනය විසින් ඉන්දියාවට සමීප හමුදා කඳවුරක් ලෙස භාවිතා කරනු ඇතැයි ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටියි. ඩොලර් බිලියන 1.5  ක වටිනාකමින් යුත් හම්බන්තොට වරාය ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ගයට ආසන්නවම පිහිටි වරායක් ලෙස සැලකෙයි. යුආන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරයාට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකය. නෞකාවේ සංචාරයට එරෙහිව ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකා රජයට වාචික විරෝධයක් ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

රොයිටර් පුවත් සේවයේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ චීනය සෑම විටම මහ මුහුදේ නිදහස නීත්‍යානුකූලව භාවිත කළ බවයි. “අදාළ පාර්ශ්වයන් චීනයේ සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් නිවැරදිව නිරීක්ෂණය කර වාර්තා කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන අතර සාමාන්‍ය හා නීත්‍යානුකූල සමුද්‍ර ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමෙන් වළකින්න” යනුවෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි. යුආන් වැන්ග් 5 නෞකාව යාත්‍රාව පසුගිය ජුලී 13 වැනිදා චීනයේ ජියැන්ජින් වරායෙන් පිටත්ව ඇති අතර අගොස්තු 11 දා එය හම්බන්තොට ළඟා වීමට නියමිතයි. මෙවැනි නෞකාව පැමිණීම අසාමාන්‍ය දෙයක් නොවන බව කර්නල් නලීන් හෙරත් පැවසීය. ශ්‍රී ලංකා උපදේශන සමාගමක් වන Belt & Road Initiative Sri Lanka සඳහන් කළේ යුවාන් වැන්ග් 5 නෞකාව සතියක කාලයක් හම්බන්තොට නැංගුරම් ලා පවතින බවත් අගෝස්තු සහ සැප්තැම්බර් අතර ඉන්දීය සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරීක්ෂණ, චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ සිදු කරන බවත්ය. 2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ඉන්දියාවේ දැඩි විරෝධයට හේතුවිය.

කලාපය තුළ යළි නොසන්සුන්තාවක්

මේ අතර දෙමළ ජාතක සන්ධානය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ චීන අභ්‍යවකාශ යාත්‍රා ලුහුබැඳීමේ නෞකාවක් වන යුආන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 11 වන දින හම්බන්තොට වරායට ඇතුලුවීම කලාපය තුළ යළිත් නොසන්සුන්තාවයක් ඇති කර තිබෙන බවයි. “වෙනත් රටවල් අතර බල අරගල සම්බන්ධයෙන් අපි පැත්තක් ගන්නේ නැහැ.” දෙමළ ජාතක සන්ධානය අවධාරණය කළේය. එහෙත් ඉන්දීය සාගරයේ චීන හමුදා රැඳී සිටීම ඉන්දියාවට නීත්‍යානුකූල ආරක්ෂක සැලකිල්ලක් ලබා දෙන බවත් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ චීන හමුදාවලට රැඳ සිටීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාව එය අවධාරණය නොකළ යුතු බව තමන් නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය අවධාරණය කළේය.

චීනයේ ප්‍රකෝපකාරී ක්‍රියාවක්

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ මේ අවස්ථාවේදී චීනය කරනු ලබන්නේ ඉන්දියාව ප්‍රකෝප කිරීමක් බව තම අදහස බවයි. පසුගිය මාස 6 තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට මානූෂවාදී ආධාර හා ණය පහසුකම් විශාල ප්‍රමාණයක් ලබා දී ඇත. එය ඩොලර් බිලියන 4 කට ආසන්නය. “මේක හරහා ඉන්දියාවට හැකියාව ලැබුණා ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව ගැන ප්‍රසාදය වර්ධනය කර ගන්න. ‘ෆස්ට් රෙස්පොන්ඩර්’ (පළමු ප්‍රතිචාර දක්වන්නා) කියන සංකල්පය ස්ථාපිත කරන්න. කලාපීය බලවතෙකු ලෙස පිළිගන්න සාධකයක් තමා කලාපීය ගැටලුවකදී පළමුව මැදිහත්වී ප්‍රතිචාර දක්වීම. ඉන්දියාව එලෙස මැදිහත් වුණා. පසුගිය කාල සීමාව තුළ චීනය සාධණීය දායකත්වයක් දැක්වුයේ නැහැ ලංකාවට. මේ තත්ත්වය තුළ චීනයට ඕන වුණා වෙන්න පුළුවන් ඔවුන්ගේ බලය පෙන්වන්න. එක තමා මේ යාත්‍රාව ඩොක් කරන්නේ. 2014 වර්ෂයේ සැප්තැම්බර් 16 චීන සබ්මැරීනයක් මෙරටට පැමිණීමෙන් පස්සේ පළමු වතාවට තමා චීනයේ මෙවැනි යාත්‍රාවක් ලංකාවට පැමිණෙන්නේ” ආචාර්ය කන්දඋඩහේවා සඳහන් කළේය. ඔහු කියා සිටියේ “මේකෙන් වෙන්නේ ලංකාවට දෙපැත්තටම බැහැ කියන්න බැරි වෙන එක. එක පැත්තකින් අපිට චීනය ඕනේ IMF ණය ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුගතකරණය කරන්න. අනික් පැත්තෙන් ඉන්දියාව ඕනේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න. ඉන්දියාව කැමති වෙන්නේ නැහැ නේ චීන නැවක් මෙතනට පැමිණෙනවාට. ඉන්දියාවේ නැගෙනහිර නාවික විධානය දැනටමත් අවදානයෙන් ඉන්නේ.” “අපි දන්නේ නැහැ මේ නැව ඇයි එන්නේ ඇයි කියලා. ඒ පිළිබඳවත් ගැටලුවක් තියෙනවා නේ. සාමාන්‍ය සම්ප්‍රදාය තමා ලෝකයේ තියෙන අතිශය රහසිගත නැව් හැරෙන්න, එහෙම නැත්නම් ඒ නැව්වල තියෙන අවි ආයුධ හැරෙන්න සාමාන්‍යයෙන් ඒ නැව ගැන විස්තරයක් තියෙනවා. නමුත් චීනයේ නෞකාවවල එවැනි ලොකු විස්තරයක් දකින්න ලැබෙන්නේ නැහැ.” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේය. “යුආන් වැන්ග් 5 නෞකාව කියන්නේ අභ්‍යවකාශය ලුහුබැඳිය හැකි, ඇන්ටි බැලැස්ටික් මොනිටරින් සිස්ටම් එකකුත් තියෙන නෞකාවක්. මේක තනිකර බලය පෙන්වීමක්.” ඔහු වැඩිදුරටත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උපරිම බලය යොදනවා - ආරක්‍ෂක ලේකම් . . .

Mon Aug 1 , 2022
රටේ මූලික නීතියට යටත්ව කෙරෙන උද්ඝෝෂණවලට ඉඩ ඇතත් උද්ඝෝෂණ මුවාවෙන් කෙරෙන සියලුම නීතිවිරෝධී කටයුතුවලදී මින් ඉදිරියට උපරිම බලය භාවිත කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ප්‍රකාශ කළේය. දැනට ක්‍රියාත්මක කෙරෙන හදිසි නීතිය ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සඳුදා කැඳවීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x