ජංගම දුරකතන සහ උපාංග මිල 300% කින් ඉහළට . . .

අගෝස්තු 22 වැනිදා, මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු අංක 2294/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබූවා. ඒ අතර එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය කිරි, බටර්, ශීතකරණ, ජංගම දුරකථන, ෂැම්පු ආදියත් ඇතුළත් වුණා. මීට අමතරව ඇතැම් කර්මාන්තවලට බලපාන උපකරණ, අමුද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ ආදියත් එම ලැයිස්තුවට ඇතුළත් වුණා. අත්හිටුවීම ඉකුත් 23දා සිට බලාත්මක කෙරුණා. ආනයනය අත්හිටුවීම පිළිබඳව විවිධ මත ඉදිරිපත් වූ අතර ජංගම දුරකතන ආනයනය අත්හිටුවීම පිළිබඳව දැඩි විරෝධයක් එම ක්ෂේත්‍රයේ සංගම් මගින් එල්ල වුණා.

ජංගම දුරකතනය කිසි කෙනෙකුට නැතිවම බැරි උපකරණයක්. ශරීර කොටසක් වගේ හැමෝටම අත්‍යවශ්‍ය බහුකාර්ය මෙවලමක්. ළමා වැඩිහිටි භේදයකින් තොරව හැමෝම ජංගම දුරකතන මත විශ්වාස තැබීමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් වැඩිවුණේ කොවිඩ් හේතුවෙන්. ජංගම දුරකතනය නිසා එදිනෙදා වැඩ ගොඩක් පහසු වී තිබෙනවා. කාලය ඉතිරිකර ගැනීම, එකවර වැඩ කිහිපයක් කිරීමට හැකිවීම, කඩිනමින් සහ ලාභදායී අන්දමින් වැඩ කළ හැකි වීම ආදිය ජංගම දුරකතනයෙන් අපට ලැබෙන වැදගත් ප්‍රතිලාභ කිහිපයක්. විශේෂයෙන් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් හේතුවෙන් පැන නැගුණු අලුත් තත්වයන්ට මුහුණ දෙන්න විකල්ප ක්‍රමවේද ගණනාවක් හඳුන්වා දෙනු ලැබුවේ ජංගම දුරකතනය පාදක කරගනිමින්. පාසල් අධ්‍යාපනය පවා මාර්ගගත ක්‍රමවේදයට යොමුවුණා. එනිසා දිළිඳු පවුල්ද ස්මාර්ට් ජංගම දුරකතන පරිහරණයට අවතීර්ණ වුණා. එනිසා ජංගම දුරකතන ඉල්ලුම වැඩි වූ අතර ජංගම දුරකතන භාවිතයත් සැලකිය යුතු මට්ටමිකට ඉහළ ගියා. ඒ අර්ථයෙන් ගත් කල ජංගම දුරකතනය සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ. එදිනෙදා කටයුතුවලට අවශ්‍ය අත්‍යවශ්‍ය සාමාන්‍ය භාණ්ඩයක්.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක දුරකතන මිලද යම් වැඩිවීමකට ලක් වී තිබෙනවා. ඉකුත් වර්ෂය ආරම්භය රු. 15,000/= කට ආසන්න මිලකට තිබූ සැම්සුන්ග් ගැලැක්සි Ao3 වර්ගයේ දුරකතනයක් ඉකුත් වර්ෂ අවසානය වන විට රු. 32,000/= සීමාවට පැමිණ තිබුණා. රජය ගෙන ඇති තීරණයත් සමඟ ඉදිරියේදී එම දුරකතනය රු. 70,000/= ට පමණ ඉහළ යා හැකි යැයි ජංගම දුරකතන වෙළඳුන් පවසනවා. එවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය පාරිභෝගිකයාට නව දුරකතනයක් මිල දී ගැනීම අසීරු කාර්යයක් බවට පත්වනවා. මේ වනවිටත් පැරණි දුරකතනයක් අලුත්වැඩියා කර භාවිත කරන පිරිස ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ටද රජය ගෙන ඇති තීරණය නිසා අපහසුතාවයට ලක්වෙනවා. සාමාන්‍යයෙන් දුරකතනයත්, දුරකතනයේ බැටරියත් වසරක් වගේ කාලයක් යනවිට දුර්වල වෙනවා. එවැනි අවස්ථාවල බැටරිය මාරු කිරීම සහ අලුත්වැඩියා කිරීමත් අසීරු වනවා. එමෙන්ම දුරකතනයේ ආරක්ෂාවට භාවිත කරන පසු කවරය, තිර ආරක්ෂණය, චාජර්, කේබල් ආදී උපාංගවල මිලත් ඉහළ ගොස් තිබෙනවා. වරින්වර මාරු කිරීමට සිදුවන 3,000/=කට පමණ තිබූ සාමාන්‍ය දුරකතනයක තිරය 8,000/= ක් දක්වා මිළ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකතන හා ජංගම දුරකතන උපාංග ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා ජංගම දුරකතන ආනයනකරුවන් සහ විකුණුම්කරුවන්ට මෙන්ම පාරිභෝගිකයන්ට දැඩි අසීරුතා රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මේ පිළිබඳව මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් ප්‍රකාශ කළේ රජය මෙවැනි තීරණයක් ගැනීමේදී මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමිත් සෙනරත් මහතා, “දුරකතන හිඟයක් තමයි තියෙන්නේ මේ වෙලාවේ. නව දුරකතන මිල දී ගැනීම 80% කින් අඩුවෙලා තියෙනවා. ඒ වගේම ජංගම දුරකතන අමතර උපාංග මිල දී ගැනීමට 118% කින් වැඩිවෙලා තියෙනවා. දැන් දුරකතන ගෙන්වීමේ අපහසුවක් ඇති වෙනවා. ඒ හින්දා ඉදිරියේදී විශාල වශයෙන් දුරකතන හිඟයක් සහ දුරකතන උපාංගවල නැතිවීමක් වෙළඳපළේ දක්නට ලැබේවි. වර්තමාන රටේ පවතින ඩොලර් හිඟයත් එක්ක ආනයන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම ගැන අපි එකඟයි. ඇත්තටම ගැටලුව වෙලා තියෙන්නේ දේශීයව නිපදවන්නෙ නැති, මිනිසාට අත්‍යවශ්‍ය භාණ්ඩවලට ආනයන සීමාවන් පැනවීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක. රජය නව ආනයන ප්‍රතිපත්තිවලට එක්කරලා තියෙනවා ලිතියම් අයන් බැටරීස් සහ බැටරි වර්ග කිසිම දෙයක් ආනයනය කරන්න බෑ කියලා. මේ වනවිට ලංකාව තුළ කිසිම බැටරියක් නිපදවන්නේ නෑ. එතකොට මොබයිල් ෆෝන් බැටරි එකක් කොහොමද අපි මිල දී ගන්නේ. මහ බැංකු අධිපති පවසනවා තියෙන දුරකථනය අලුත්වැඩියා කරලා පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ අලුත්වැඩියා කරන්නත් අපිට බැටරිය ගන්න තැනක් නෑ. සාමාන්‍ය බැටරියක් පෙර පැවතියේ රු. 450/= සිට උඩට. වර්තමාන මිලට අනුව රු. 1500/= න් උඩට තමයි බැටරියක මිල තීරණය වෙලා තියෙන්නේ.”

ජංගම දුරකතන සහ උපාංග මිලදී ගැනීම අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා දුරකතනයක මිල 300% කින් ඉහළ යනු ඇතැයි ව්‍යාපාරිකයෝ අනුමාන කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසන්නේ ජංගම දුරකතන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එහි ප්‍රමාණය සිතාගත නොහැකි බවත්ය. එමෙන්ම එහි වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය. ඒ අනුව ජංගම දුරකතන සම්බන්ධයෙන් කළුකඩ මිලක් ඉදිරියේදී තීරණය වනු ඇතැයි සිතිය හැකිය. රජය ගෙන ඇති තීරණය සිය කර්මාන්තයට කෙසේ බලපා ඇත්දැයි කොළඹ කොටුව ප්‍රදේශයේ ජංගම දුරකතන ආනයනය කර අලෙවි කරන ව්‍යාපාරිකයෙකුගෙන් දේශය කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් කීවේ මෙවන් අදහසකි. “දැන් මම ඉන්නේ මගේ ළඟ වැඩකරන ළමයින්ට පඩි දෙන්නෙ කොහොමද කියල හිතන තත්ත්වයක. කඩේ බඩුත් නැතුව වැඩකරන ළමයි 05 ක් ඉන්නවා. ඒ අයව නවත්තන්න වෙනවා. මම සාමාන්‍යයෙන් ගෙදර යන්නේ සෙනසුරාදා. ඒත් අද (බ්‍රහස්පතින්දා) මම ගෙදර යනවා. විකුණන්න කඩේ බඩු නැති නිසා. කඩේ නිකම් ඉඳලා වැඩකුත් නෑනෙ. දැන් කොටුවේ  සෙනඟත් නෑ. බඩු මිලත් වැඩියි. වැඩිවුණාට ලාභයකුත් නෑ. කඩේ තියෙන ඉතිරි බඩු ටිකත් ඉවර වුණොත් මොකක්ද මං කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.” දැනටමත් දුරකතන අලෙවි සැල් ගණනාවක් වැසී ගොස් ඇති බව සෑම නගරයකින්ම වාර්තා වෙයි. ඉතිරිව තිබෙන දුරකතන අලෙවි සැල්ද වැසීයාමේ තත්ත්වයටම ළඟා වී ඇත.

එනිසා විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස ජංගම දුරකතන හා එහි උපාංග ආනයනය අත්හිටුවීම එතරම් හොඳ පිළිතුරක් නොවේ. ජංගම දුරකතනය මූලිකරගත් රැකියාවන්හි නිරත දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් මෙරට සිටිති. එමෙන්ම අධ්‍යාපනයද බෝහෝදුරට ජංගම දුරකතනය පාදක කරමින් සිදුවේ. එනිසා මෙම ආනයන සීමා කිරීම නිසා ඍජුව හා වක්‍රව විරැකියාව ඉහළ යනු ඇති බව පැහැදිලිය. මෙම තීරණය පැහැදිලිව ඔවුන්ගේ ජීවිතයත් සමඟ කරන සෙල්ලමක් වනු ඇත. ජංගම දුරකතන සම්බන්ධයෙන් ඉදිරියේදී කළුකඩ මුදලාලිලාගේ ක්‍රියාකලාප පාලනයට අවශ්‍ය පියවර පාරිභෝගික අධිකාරය ගත යුතුය. ජංගම දුරකතන හා එහි උපාංග සම්බන්ධයෙන් කිසිදු මිල පාලනයක් අපේ රටේ නැත. එනිසා සිය අභිමතය පරිදි මිල ගණන් කියන වෙළෙඳ එමට වෙළඳපොළේ අපට මුණ ගැසෙයි. එනිසා ජංගම දුරකතන කර්මාන්තය තුළ මිල පාලනය අවශ්‍ය නෛත්‍රික ක්‍රියාමාර්ගත නොගතහොත් පාරිභෝගිකයා අසරණ තත්ත්වයට පත්වනු නියතයි.

සකීෆ් සාම්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ පෝර්ට් සිටියට විදේශ ආයෝජකයන් නැහැ . . .

Sun Sep 4 , 2022
මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ පෝර්ට් සිටියේ විදේශ ආයෝජකයන් සඳහා වෙන්කළ බිම් කොටස් 74න් මෙතෙක් ආයෝජකයන් විසින් හිමිකරගෙන ඇත්තේ බිම් කොටස් 6 ක් පමණක් බව දේශයට වාර්තා වෙයි. ඉතිරි බිම් කොටස් 68 සඳහා මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත්ව නැත. මේ වනවිට බිම් කොටස් 6 ක් සඳහා ව්‍යාපාරික ආයෝජන ඉදිරිපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x