ඩුබායි සිට ආ අරගලකරුවා . . .

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රන්දිමාල් ගමගේ ඊයේ (ජන. 5) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළවලට හානි කිරීමේ චෝදනාව යටතේ කුරුඳුවත්ත පොලිසිය කළ ලිඛිත ඉල්ලීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි පොලිසිය කියයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන රන්දිමාල් ගමගේ (32) ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු ඊයේ අලුයම 04.30ට ඩුබායි සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. එසේ පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ.

එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ගුවන්තොටුපොළෙන් පිටව යෑමට හැකි බව ආගමන විගමන නිලධාරීන් දැනුම් දී තිබේ. නිලධාරීන් එසේ දැනුවත් කළ පසුව රන්දිමාල් ගමගේ තමාට අධිකරණයේ නඩු විභාග වන බැවින් එසේ පිටව යා හැකිදැයි ආගමන හා විගමන නිලධාරීන්ගෙන් පෙරළා ප්‍රශ්න කරමින් තවදුරටත් එම ස්ථානයේ රැඳී තිබේ. ඉන්පසුව ඔහු ෆේස්බුක් සජීවී වීඩියෝ පටයක් නිකුත් කරමින් තමා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට යන බව ප්‍රකාශ කර ඇත.

එහෙත් ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ සිය දෙපාර්තමේන්තුවෙන් රන්දිමාල් ගමගේ අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් නොතිබූ බව ය. පසුව කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එහිදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය ඉදිරිපිට අරගලයේ ක්‍රියාකාරීහු පිරිසක් රැස්ව සිට මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවක් දැක්වූහ.

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීරගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් ලක්මාල් (3713) විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබ තිබේ.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණ පෙරවරු 11.00ට පමණ රන්දිමාල් ගමගේ රැගෙන ගියහ.

පසුව පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රුපියල් ලක්ෂ දෙකක ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි . . .

Fri Jan 6 , 2023
ශ්‍රී ලාංකික සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්ත රංගන ශිල්පියෙකු වූ බුද්ධි වික්‍රම හෙවත් බුද්ධිසේන දයාරත්න වික්‍රම අභාවප්‍රාප්ත වී තිබේ. 1939 වසරේ ජනවාරි මස 19 වන දා ගාල්ල, හීනටිගලදී උපත ලබා ඇති ඔහු මිය යන විට 83 වන වියේ පසු විය. ඔහු හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ මහින්ද විද්‍යාලය වෙතින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x