ඊයේ වර්ජනයෙන් මහජන සේවා ඇන හිටී . . .

සෞඛ්‍ය, ගුරු, විදුලිය, බැංකු, ජල, වරාය ඇතුළු වෘත්තීය සමිති 47කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (මාර්තු 15) සිදුකරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් සමස්ත දිවයිනේ ම සියලු ක්ෂේත්‍ර කඩාවැටුණු බව එම එකමුතුව සඳහන් කළේ ය.

වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වීමට රජය තීරණය නොකිරීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා යොමු වූ බවත් රජය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නේ නම් ඉදිරියටත් මෙය උග්‍රවිය හැකි බවත් ඔවුහු පැවසූහ. වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුවට පත්ව තිබිණි. ඊයේ (මාර්තු 15) පෙරවරුවේ කාර්යාල දුම්රිය ගමන්වාර 21ක් ක්‍රියාත්මක වී ඇත. කොළඹින් බැහැරට දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගී ජනතාව, දුම්රිය නොමැතිවීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඊයේ දිනයේදී පාළු ස්වභාවයක් දිස්විය. දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක ම ආරක්ෂාවට යුද්ධ හමුදාව කැඳවා තිබිණි.

වර්ජනයට වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලද එක්ව සිටීම නිසා රෝහල් රැසක සායනික ප්‍රතිකාර කටයුතු සහ සාමාන්‍ය සැත්කම් අඩාල වූ බවට රෝගීන්ගෙන් චෝදනා එල්ල විය. කොළඹ ජාතික රෝහල, අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහල, අම්පාර මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල ඇතුළු සියලුම රජයේ රෝහල්වල මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක විය. ජීවිත බේරා ගැනීමේ හදිසි සැත්කම්, වකුගඩු ප්‍රතිකාර ඒකක, හෘද සැත්කම් ඒකක ඇතුළු අංශ රැසක කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු කළ බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහන් කළේ ය. කොළඹ ජාතික රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් වර්ජනය හේතුවෙන් ආපසු හැරී යන අයුරු ද දැකගත හැකි විය. බාහිර ප්‍රතිකාර ඒකකවලින් රෝගීන් ඇතුළත් කර ගැනීම, රෝගීන් පරීක්ෂා කිරීම, සායනික ප්‍රතිකාර ඇතුළු කටයුතු ඊයේ වර්ජනය හේතුවෙන් අඩාල වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය බුද්ධික සමන් කුමාර පැවසීය. සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ පැවැසුවේ රජයේ සියලු රෝහල්වල රෝගී සත්කාර සේවාව අඩපණ වූ නමුත් මූලික වශයෙන් පවත්වා ගෙන යා යුතු අත්‍යවශ්‍ය රාජකාරි ඊයේ දිනයේදී ක්‍රියාත්මක කෙරුණු බවත් ය.

පෙරහරේ කසකරුවන් පමණක් පළමු කොට පැමිණිය ද ඒ පසුපස පිළිවෙළින් අලි ඇතුන් ද ගමන් කරන බව මතක තබා ගත යුතු යැයි සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමිල රත්නායක සඳහන් කළේ ය. සමස්ත ජනතාව ම එක්ව මහ පාරට පැමිණ අරගල කරන දිනය වැඩි ඈතක නොවන බව ද ඔහු අවධාරණය කළේය. වර්ජන ක්‍රියාමාර්ගය අතිසාර්ථකව ඊයේ දිනයේදී ක්‍රියාත්මක කෙරුණු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පැවසීය. ඉතිහාසේ අන් දිනයක මෙවන් ආකාරයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවුණු බව ද ඔහු කීය. රටේ ජනතාවගේ කැමැත්ත දිනා නොගෙන තමන්ට අවැසි දේ ක්‍රියාත්මක කරමින් රට හදන බවට පවසමින් රටේ ජනතාව රැවටීමට හෝ වෙනස් කිරීමට නොහැකි බව හෙතෙම පැවසීය.

මේ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරින් සියයට අනූනවයක් ම ඊයේ ලෙඩ නිවාඩු ලබා ගෙන සේවයට වාර්තා නොකළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.පැය විසිහතරකින් මේ වර්ජනය නතර කළද එළැඹෙන 22 වන දා වනතුරුත් මේ ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් වර්ජන ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව ද රවී කුමුදේශ් අවධාරණය කළේ ය. සාමාන්‍ය රෝගීන් රඳවා සිටින වාට්ටුවල කටයුතුවලින් පවා තම කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වූ බව සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ.

රට ම ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරුණු වැඩ වර්ජනය හේතුවෙන් රෝගී සත්කාරක සේවා අඩාල වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කීය. රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු බවත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවුණු බව ද ඔහු සඳහන් කළේ ය.

වර්ජන ක්‍රියාමාර්ගයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් ද එක්ව සිටි නිසා දිවයින පුරා පාසල්වලට ගුරුවරු හා සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක තිබූ බව වාර්තා විය. දරුවන් පාසල වෙත ඇරලවා යාමට පැමිණි ඇතැම් මවුපියවරුන් නැවත තම දරුවන් නිවෙස් වෙත කැඳවා ගෙන යාමට කටයුතු කළ අයුරුද දක්නට ලැබිණි. ගුරු – විදුහල්පති හා ගුරු උපදේශකවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් එක්ව සිදු කළ වැඩ වර්ජනය අතිසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්  පැවසීය. දිවයිනේ පාසල් බොහොමයක අධ්‍යපන කටයුතු සිදු නොවුණු බව ද ඔහු කීය. වර්ජනය නතර කිරීමට ආණ්ඩුව විවිධ උපාය මාර්ග යෙදුව ද ඒ කිසිවකින් ගුරු – විදුහල්පති වර්ජනය අඩපණ කිරීමට හැකි නොවුණු බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඊයේ දිනයේදී වෘත්තීය සමිති එක්ව සිදු කළ වැඩ වර්ජන සහ උද්ඝෝෂණ අති සාර්ථක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සඳහන් කළේ ය. රටේ සියලු ම ක්‍ෂේත්‍රවල වෘත්තීිය සමිති මේ සඳහා සම්බන්ධ වූ බවත් රට පුරා ම උද්ඝෝෂණ 200කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ බවත් ඔහු කීය. ලක්ෂ දෙකකට අධික පිරිසක් වැඩ වර්ජන හා උද්ඝෝෂණවල ඊයේ දින නිරත වූ බව හෙතෙම සඳහන් කළේ ය.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය 03/15 දින දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා ක්‍රියාත්මක කළ ‘අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකව පැවැත්වූ බව එම සංගමයේ සභාපති තිසර අමරනන්ද පැවසීය. මේ නිසා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 5ක් ප්‍රමාද වී ගුවන් ගත වූ අතර තවත් ගුවන් යානා කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේදී ප්‍රමාද වීම්වලට ලක් වූ බව තිසර අමරනන්ද පැවසීය. එසේ ම, කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා මෙන් ම ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා ද, කෙටි ගුවන් ගමන් මාර්ග වෙනුවට නියමිත ගුවන් ගමන් මාර්ග ඔස්සේ පමණක් ධාවනය කරවූ අතර එනිසා ශ්‍රීලන්කන්, ඉන්ඩිගෝ සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා ඇතුළු අනෙකුත් ගුවන් සේවා වෙත අතිරේක ඉන්ධන පිරිවැයක් දැරීමට ද සිදු වී ඇති බව අමරනන්ද පැවසීය. එහෙත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානාවලට මෙන්ම හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා, ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා කිසිදු බාධාවකින් තොරව ගුවන් ගමන්වල නිරත වූ බව ද තිසර අමරනන්ද වැඩිදුරටත් පැවසීය.

මේ අතර දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම ඊයේ සාමාන්‍ය ලෙස සිදු වූ බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා පැවසීය. ඒ අනුව, ඊයේ දින කොලොන්නාව, මුතුරාජවෙල හා සෙසු ඉන්ධන බෙදා හැරීම් ස්ථානවලින් ඉන්ධන බෙදා හැරීම සිදු කොට ඇත. කෙසේ නමුත් තෙල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ වර්ජනයට එක්ව තිබිණි.

රජයේ වත්මන් බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඊයේ දවස පුරා ක්‍රියාත්මක කළ වරාය වැඩ වර්ජනයට වරාය පාලනාධිකාරිය දැඩි බාධා කිරීම් සිදු කර ඇති අතර ඊට එරෙහිව ගත් තීරණ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සියලු වෘත්තීය සමිති විසින් අද (මාර්තු 16) කැඳවා ඇත.

ඊට අමතරව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ කිසිදු සැලකිල්ලක් මේ වනතුරු වත්මන් රජය ගෙන නැති බව ද එම නිසා රජයට දැනෙන ආකාරයේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමේ සැලසුමක් ද වරාය වෘත්තීය සමිති ගැනීමට නියමිත බව ද වරාය වෘත්තීය සමිති වැඩිදුරටත් පැවසූහ.

  • සවනි ශේශාධි, මිතුන් ජයවර්ධන, ජේ.ටී. ද සිල්වා, අනුරාධා හේරත්, චාමර අමරසූරිය, කටුනායක – ටී.කේ. ජී. කපිල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලංගම ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන් . . .

Thu Mar 16 , 2023
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන  මහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි. ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර  කවුළුව විවෘත කිරීම   රාජ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x