රජයේ දේශීය ණය කපාහැරීම පිළිබඳව තොරතුරු රැසක් හෙළිවෙයි . . .

සේවක අර්දසාදක ආරමුදල සහ මෙරට වානිජ බැංකුවලින් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරීම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි වී නොතිබුණු තොරතුරු රැසක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න ලියූ සටහනකින් හෙළි කර තිබේ.

එම සම්පූර්ණ සටහන උපුටාගෙන පහත දැක්වේ,

“මහ බැංකුව මෙතෙක් සඟවා ගෙන සිටි බලලා හදිසියේම මල්ලෙන් එලියට පනියි….

ලංකාවේ ජනයා රටේ ආර්ථිකය, IMF, ණය, බැදුම්කර, භාණ්ඩාගාර බිල්පත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ මෙතරම් උනන්දු වූ යුගයක් කවමදාවත් දැක නැත. මේවායේ ආදිනව කෙසේ වෙතත්, අධ්‍යාපනික වශයෙන් එය ඉතා යහපත් ප්‍රවනතායකි.

මා මේ ඔබට කීමට සූදානම් වන්නේත් තවත් එවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැනය. කෙසේ වෙතත් මේවායේ ප්‍රතිඵල ඔබට භුක්ති විඳීමට සිදුවන්නේ 2023 අවසන් කාර්තුව සහ 2024 පළමු කාර්තුව එළඹීමත් සමගය. එතෙක් ඉවසීමෙන් හා සතුටින් සිටින්න.

පසුගිය මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ  සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන  ලංකාවට ණය දී ඇති විදේශීය ණය හිමියන් සඳහා මාර්ග ගත ඉදිරිපත් කිරීමක් (Online Presentation) කරන්නට යෙදුණා. එය මෙම දිගුවෙන් භාගත කරගන්න https://www.treasury.gov.lk/news
එහි අරමුණ වූයේ ලංකාවේ රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවය මත මෙතෙක් ලංකාවේ රජය අත් කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ණය හිමියන් සමග අදහස් හුවමාරු කරගැනීම සහ ඉදිරි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සාකච්ඡා කිරීමයි.

මෙම සාකච්ඡාවේදී ලංකාවේ මහ බැංකුව සහ රජය මෙතෙක් විවෘතව සාකච්ඡා නොකල සඟවා ගෙන සිටි කරුණක් හෙළිදරව් වුණා. එනම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ලංකාවේ වැඩපිළිවෙළ (Action Plan ) කුමක් ද යන්න එහිදී ඔවුන්ට ඉදිරිපත් කිරීමට සිදුවුණා. (Presentation Slide no. 20).

මේ පිළිබඳ විමසූ සෑම අවස්ථාවකම මහ බැංකු අධිපති වරයා හෝ මුදල් අමාත්‍යාංශය කිසිදු පැහැදිලි පිළිතුරක් ලබා නොදී මග හරිමින් සිටියේ ය. එහෙත් දැන් ඔබට එය හොඳින් බලාගත හැකිය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියා ජනවහරේ කියන්නේ මේවාටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි ලංකාවේ රජය මාර්තු සහ අප්‍රේල් මාස දෙක ඇතුලත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ තක්සේරුව කල යුතු වෙනවා (Assessment of domestic debt optimization ). ඉන් පසු අප්‍රේල් මස ආරම්භ කොට මැයි මාසය අග වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය (Implementation Phase) අවසන් කල යුතු වෙනවා. මින් පැහැදිලි වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව විදේශ ණය හිමියන් කොහෙත්ම ඔවුන්ගේ ණය කපා හැරීමකට එකඟ නොවන බවයි.

මෙතෙක් කලක් මහ බැංකු අධිපති සහ ජනාධිපති ප්‍රකාශ කරමින් සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන බවකි. එය අසත්‍යක් බව දැන් ඉතා පැහැදිලි ය. ඔවුන් නවතම සිංහල වචනයක් මේ සඳහා සොයා ගෙන ඇත . ණය ප්‍රශස්තකරණය හෙවත් Debt Optimization ලෙස ඔවුන් එය නම් කොට ඇත. මෙය ණය කපාහැරීම යැයි කීවා නම් ඔබ එය පහසුවෙන් අවබෝධ කරගනු ඇතැයි ඔවුන් සිතන්නට ඇති.

ඉන් අනතුරුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹීමට නියමිත වන්නේ මැයි මස ආරම්භයේ සිටයි. ජුලි මාසය දක්වා කාලය තුල විදේශ ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කොට (Negotiation Phase) ජුලි සිට සැප්තැම්බර් කාලය තුල විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු (Implementation Phase ) අවසන් කල යුතුය. මේවායේ එකඟතාවයන් ඉදිරියේදී දැන ගැනීමට හැකි වේවි.

මහ බැංකු අධිපති වරයා ප්‍රකාශ කරන්නේ මූලිකවම මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති සුරැකුම් පත් ණය කපා හැරීමකට ලක් කරන බවකි. ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර මේ කපාහැරීමට ඇතුළත් වෙනවා. මෙය ඔවුන් ණය ප්‍රතිලැයිස්තුගතකරණය හෙවත් Debt Reprofiling ලෙස හඳුන්වයි. අවසානයේ සිදුවන්නේ එකම ක්‍රියාවලියකි. එනම් මහ බැංකුව විසින් රටේ මහජනයාගේ අරමුදල් පාවිච්චි කොට රජයට ලබා දී ඇති රුපියල් බිලියන 13,189 (ඩොලර් බිලියන 36.3) ක ණය මුදල කොටස් වශයෙන් කපා හැරීමයි.

මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පළමු වටයේදී මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් ණය කපා හරින බවකි. ඒ අනුව, භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ලබා දී ඇති සමස්ත ණය රුපියල් බිලියන 4126 කි (ඩොලර් බිලියන 11.4). ඉන් 62.4% එනම් රුපියල් බිලියන 2576.224(බිලියන දෙදහස් පන්සීය හැත්තෑ හයයි දශම 224 ක්) මහ බැංකුව විසින් ලබා දී ඇත. ඊට අමතරව වාණිජ බැංකු විසින් බිලියන 772.162 ක් ද, රක්ෂණ සමාගම වැනි ආයතන බිලියන 722.15 භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන රජයට ණය ලබා දී ඇත.

මහ බැංකු අධිපති ප්‍රකාශ කල අන්දමට මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් සඳහා දුන් ණය කපා හරින්නේ නම් එය පමණක් රුපියල් බිලියන 2576.224 කි. එය ඩොලර් වලට හැරවූ විට ඩොලර් මිලියන 8,024 කි. එනම් ඩොලර් බිලියන 8.024 කි. (2576.224X321).

2017 යහපාලන රජයේ අගමැති රනිල් වික්කම සිංහ, සජිත් , එරාන් , හර්ෂ ,කබීර් ,රවී එකතු වී හම්බන්තොට වරාය චීන සමාගමට වික්කේ ඩොලර් බිලියන 1.1 කටයි. https://www.economictimes.indiatimes.com මෙසේ කපා හැරීමට සූදානම් වන ණය රටේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගත්තේ නම් හම්බන්තොට වරාය මෙන් වරායවල් අවම වශයෙන් 08 ක් රට වටේ ගොඩනැගීමට හැකියාව ඇත. නැත්නම් දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කල හැකි නවීනතම තාක්ෂණය සහිත පිරිපහදු දෙකක් ගොඩනැගිය හැක.

මහ බැංකුව මෙසේ කපා හරින්නේ අධිපති නන්දලාල් වීරසිංහගේ හෝ රනිල් වික්කම සිංහගේ මුදල් නොවන බව කිව යුතුය. රාජපක්ෂලාගේ හෝ සිරිසේනලාගේ මුදල්ද නොවෙයි . මේ ඔබගේ මුදල් ය. රටේ මිලියන 22 ක් වූ ජනයාගේ මුදල් ය. මේවාට වගවෙන්නේ කවුරුන්ද?

එමෙන්ම , මහ බැංකු අධිපති වරයාගේ මාර්තු මස 30 දින ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශ කල අනෙක් කරුණ නම් භාණ්ඩාගාර බැදුම්කර ණය කපා හරින ආකාරයයි. බැදුම්කර හරහා රුපියල් බිලියන 8,722 ක් හෙවත් ඩොලර් බිලියන 24 ක් රජයට ණය දී ඇත.

භාණ්ඩාගාර බැදුම්කර හරහා රජයට ලබා දී ඇති ණය බෙදී යන්නේ මෙසේය .

රටේ බැංකු විසින් මිල දී ගෙන ඇති බැදුම්කර වටිනාකම රුපියල් බිලියන 3880.39ක් එනම් මුළු ණය බිලියන 8,722 න් ප්‍රතිශතයක් ලෙස 44.5% කි.

එමෙන්ම අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විසින් මිල දී ගෙන ඇති බැදුම්කර ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 3724.57 ක් හෙවත් ප්‍රතිශතයක් ලෙස මුළු ණය මුදල වන බිලියන 8722න් 42.7% ක් වේ.

රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 782.98 ක්ද, වෙනත් පුද්ගලික අරමුදල් විසින් බිලියන 296.45 ක් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බිලියන 26.166 ක් වශයෙන් රජයට ණය ලබා දී ඇත.

මෙහිදී මහ බැංකුව කදිම යෝජනාවක් ගෙන එයි. කැමති කෙනෙකුට ණය කපා හැරීමකට එකඟ විය හැකි බවයි. අධිපති වරයාගේ වචන වලින් ප්‍රකාශ කරන්නේ නම් “ණය ප්‍රශස්තකරණය” කල හැකි බවයි. ස්ව කැමැත්තෙන් ණය කපා හැරීමකට එකඟ වන්නට බැංකුවකට හැකිද? ඔවුන් ආයෝජනය කොට තිබෙන්නේ ඔබගේ තැන්පතු මුදල් ය. ඔබගේ තැන්පතු ඉල්ලා සිටින විට මුදල් ලබා දීමට බැංකුව බැඳී සිටී.

සේවක අර්ථසාධක අරමුදල් භාර කාර මණ්ඩලයට තම ණය කපා හැරීමකට තීරණ ගත හැකිද? අර්ථසාධක අරමුදලේ තිබෙන්නේ වැඩකරන ජනයාගේ සාමාජික මුදල් ය. මේවායේ සිටින නිළධාරීන් කවදාහෝ මේවාට වගවිය යුතු නොවේද ?

ඝානාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කල විට ඔවුන්ටත් සිදුවුයේ මුලින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටයි . ලංකාවේ මෙන්ම ඝානා මහබැංකුව ප්‍රකාශ කලේ කැමැත්තෙන් ණය කපා හැරීමකට එකඟ වන ලෙසයි . එහෙත් එය කිරීමට යෑමේදී බැංකු සහ අරමුදල් භාර කරුවන් විරුද්ධ විය. මහබැංකුව සතු ණය කපාහැරීම පමණක් රටේ ණය තිරසර බව ඇති කිරීමට ප්‍රමාණවත් නොවීය. ලංකාවේ තත්ත්වය ද එයයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොදන්නවා නොවෙයි .

ඝානා මහ බැංකුව මේ වන විට රජයට ණය දී තිබෙන බැංකු සහ අරමුදල් වලට අනතුරු හඟවා ඇත. රටක බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සඳහා අමතර මූල්‍ය අවශ්‍ය නම් හෝ බැංකුවක් කඩා වැටෙන්නේ නම් රටේ මහබැංකුවකට නීත්‍යානුකූලව පැවරී ඇති වගකීමක් වන්නේ වහාම මූල්‍ය අවශ්‍යතා සැපැයීම සහ එම බැංකු බේරා ගැනීමයි. එහෙත් , මේ වන විට ඝානා මහබැංකුව ප්‍රකාශ කොට ඇත්තේ මින් පසු මහබැංකුව එසේ මැදිහත් නොවන බවත් , බැංකුවකට අමතර මුදල් සැපැයීම නවතා දැමීමට කටයුතු කරන බවත් ය. ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන ණය කපා හැරීමකට එකඟ නොවන්නේ නම් ලංකාවේ මහ බැංකුව ද ඝානා මහබැංකු පූර්වාදර්ශය අනුගමනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇත .

පසුගිය දා වොෂින්ටන් නුවර පැවති ලංකාවේ මුදල් රාජ්‍ය ඇමැති සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහභාගි වූ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ප්‍රිං සමුළුවේදී ඝානා මුදල් ඇමැති ප්‍රකාශ කලේ රටේ ජනයාගේ දැඩි විරෝධය හමුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසාර්ථක වූ බවත් ඔවුන්ට තවත් කල් ගත වනු ඇති බවත් ය.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකයන් පිරිසක් විසින් රාජ්‍ය බැංකු හතරක් සහ පෞද්ගලික බැංකු පහක මූල්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනයක් (Health Check ) සිදුකරමින් සිටින බව ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය දා ප්‍රකාශ කලේය . කිසියම් බැංකුවක් ණය කපා හැරීමකට එකඟ නොවන්නේ නම් ඝානාව අනුගමනය කිරීමට තීරණය කොට ඇති ක්‍රමවේදය ලංකාවේ ද ක්‍රියාත්මක වීමට ඉඩ ඇත . බැංකු සඳහා අවශ්‍ය අමතර මූල්‍ය සැපැයීමෙන් මහබැංකුව ඉවත් වන බව ප්‍රකාශ කිරීමට ඉඩ ඇත.

කෙසේ හෝ ලංකාවේ ජනාධිපති රනිල් වික්කම සිංහ උස්සාහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය සැපිරීමටයි. මැයි මාසය වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කල යුතු බව ඔහු දනී. නැතහොත් ඔහුගේ සිහින බොඳ වනු ඇත. එමෙන්ම IMF දෙවන වාරිකය ගෙවීමට පෙර ජුනි මස තිබෙන ප්‍රගති සමාලෝචනය (Review ) අසාර්ථක වනු ඇත.

සේවක අර්ථසාධක අරමුදල, බැංකු , රක්ෂණ සංස්ථාව වැනි ආයතන කෙරෙහි ඇති විය හැකි පීඩනය සහ ඊට එරෙහිව ජනයා නැගී සිටීමට ඉඩ ඇති බව රනිල් වික්කම සිංහ නොදන්නවා නොවෙයි. එය වලක්වා ගැනීමට ඔහු සියළු උපක්‍රම යොදා ගනු ඇත.

ඔහුට 88/89 දී කල දේ දැන් නැවත කිරීම දුෂ්කර ය. බටලන්ද නැවත විවෘත කල නොහැක . මෙවර ඔහු ඒ සඳහා නීතියක් සම්මත කරගැනීමට සූදානම් වේ. එය ප්‍රති ත්‍රස්ත පනත හෙවත් රාජ්‍ය ත්‍රස්ත පනත ලෙස හඳුන්වයි. ඒ හරහා මෙවර 88/89 කල කටයුතුම නීත්‍යානුකූලව සිදු කිරීමට ඔහුට බලය ලැබෙයි . ඒ රනිල් වික්කම සිංහගේ ක්‍රමයයි. ලංකාවේ සම හරක් ජනයා එයත් දොහොත් මුදුනින් භාර ගනු ඇති.

ඔබට දැන් IMF ණයත් ලැබුණේ ය. රතිඥ්ඥා පත්තුකොට සතුටත් සැම‍රුවේය. රටේ දැන් තෙල් පෝලිම් නැත. ගෑස් පෝලිම්ද නැත. පැය 24 විදුලියද ඇත. රුපියලත් නැග ඇත. බඩු මිලත් අඩු වී ඇත . හාල් කිලෝ දහයකුත් ලැබී ඇත. අවුරුදුත් කෑවේය . හෙට අනිද්දා ණය ටිකත් කපා හරිණු ඇත. ඔබට යම් වෙනසක් දැනෙනවා විය හැක. එහෙත් කිව යුත්තේ ඔබට නොදැනීම රටේ පාලකයා ඔබගේ ඇඳිවතත් ගලවාගෙන යන බව ය. ඒත් කම් නැත. ඔබ ඒත් සතුටින් ය. මේ සිරි ලංකාවය.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
21.04.2023″

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සාගලගේ අත්සන හොරට ගැසූ පොලිස් පරීක්ෂක මාට්ටු . . .

Sat Apr 22 , 2023
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක ගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x