විජේසුරිය එපා, GMOA සෞඛ්‍ය ලේකම්ට දන්වයි . . .

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් ප්‍රතික්ෂේප කල අවසරයක් මධ්‍යයේ අනීතික ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා තනතුරේ රැඳී සිටින වෛද්‍ය ජී. විජේසුරිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම කරමින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

ලේකම්,
සෞඛ්‍ය අමාත්‍යංශය,
කොළඹ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරේ වැඩ ආවරණය කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කල වෛද්‍ය ජි. විජේසූරිය මහතා ‘අනීතික’ අයුරුන් එම තනතුරේ අඛණ්ඩව කටයුතු කිරීමට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටීම.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරේ දිගින් දිගටම රාජකාරි කිරීම හරහා මතුව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබඳ අප විසින් ඔබ ඇතුලු සෞඛ්‍ය බලධාරීන් වෙත සාක්ෂි සහ සාධක සහිතව කරුණු දක්වා ඇත.

මේ වන විට මෙම නිලධාරීයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතල බව ඔබටද වැටහි ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

කෙසේ නමුත් අප මීට ඉහත යොමු කල ලිපිය හරහාද පෙන්වා දුන් පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාත්මක ‘සැඟවුණු හස්තයක්’ මගින් මෙම නිලධාරීයාගේ හිතුවක්කාරි ක්‍රියාකාරකම් සඳහා සාදාචර විරෝධි රැකවරණයක් ලබා දීම සිදු කරන බව නිරීක්ෂණය වේ.

මේ අතර අප වෙත ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබි ඇති පරිදි වෛද්‍ය ජි. විජේසූරිය යන අයට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරේ රාජකාරි ආවරණය කිරීමට අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අදාල නිලධාරීයාගේ පෞද්ගලික ලිපි ගොණුව පරීක්ෂා කලහොත් මේ පිළිබඳව වන රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝගය පැහැදිලි කර ගත හැකි වනු ඇත. ඒ අනුව මෙම නිලධාරීයා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රතික්ෂේපිත අවසරය මධ්‍යයේ ‘අනීතික’ ලෙස තනතුරේ රැඳි සිටින බව පෙනී යයි.

වෛද්‍ය ජි. විජේසූරිය මහතාගේ පිළිගත නොහැකි හා හිතුවක්කාරි ක්‍රියාපිලිවෙත හේතුවෙන් වෛද්‍ය නිලධාරී ස්ථානමාරු ක්‍රියාවලිය මේ වන විට මුලුමනින්ම ඇණහිට ඇති අතර මේ හේතුවෙන් ඉදිරි කාලය තුල සෞඛ්‍ය පද්ධතිය තුල බරපතල ගැටළුකාරි තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

ඒ අනුව මෙම නිලධාරීයා තවදුරටත් ඉහත තනතුරේ නිසි අවසරයකින් තොරව රඳවා ගැනීම කිසිසේත්ම පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ලෙස ඒකමතිකව තිරණය කරන ලදි.

ඉහත සියලු කරුණු මෙන්ම මේ වන විටත් අප විසින් පෙන්වා දී ඇති මෙම නිලධාරීයාගේ පිළිගත නොහැකි ක්‍රියාකාරිත්වය සම්බන්ධව කඩිනම් සමාලෝචනයක් සිදු කොට පවතින අසතුටුදායක තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන තීන්දු තීරණ වහාම ප්‍රකාශයට පත් කරන මෙන් අවධාරණය කරමු.

ස්තුතියි
මීට විශ්වාසි,

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විසිට් වීසා’ රැල්ලට කටුනායකින් බාධකයක් . . .

Tue Aug 22 , 2023
ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (අගෝ. 21) විවෘත කරන ලදී. ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x