චිචී කළේ රස්සාවක් . . .

ඉන්දියාව විසින් සඳට යවන ලද චන්ද්‍රයාන් යානයත් සමඟ මීට වසර කිහිපයකට පෙර රෝහිත රාජපක්ෂගේ මැදිහත් වීමෙන් අභ්‍යවකාශගත කර ලද චන්ද්‍රිකාව පිළිබඳව යළි කතාබහට ලක්වුණා.

ඉතින් ඒ සම්බන්ධයෙන් සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,

එහිදී ඔහු කියලා තිබ්බේ නම්, සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාටත් යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එම කතාබහ පහතින්,

හැමෝම කතාවෙන සුප්‍රිම් සැට් කියන්නේ මොකක්ද කියලා මුලින්ම පැහැදිලි කළොත්?

මගේ නායකත්වයෙන් තියෙන සුප්‍රිම් සැට් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් කියන ආයතනයෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් තමයි සුප්‍රිම් සැට් කියලා කියන්නේ. මේක අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණයට අදාළ සමාගමක්. ඒ වගේම තමයි මේ සමාගම ආරම්භ වෙන්නේ ලංකාවේ පළමු සහ එකම අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණයට අදාළ සමාගම විදිහට. ආරම්භයේ සිට මේ දක්වාම අපි අඛණ්ඩව අපගේ දායකත්වය නිසියාකාරව ලබාදෙමින් මේ ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වෙනවා. සුප්‍රිම් සැට් අපි 2012දී දියත් කළා. ඒක සන්නිවේදන චන්ද්‍රිකාවක්.

ඒක අභ්‍යවකාශගත කිරීම මිථ්‍යාවක් නෙමෙයි. අදටත් අන්තර්ජාලයේ ඊට අදාළ ඡායාරූප, දර්ශන නරඹන්න පුළුවන්. ඒ වගේම අපි ඒ චන්ද්‍රිකා එක අදටත් කොහෙද ස්ථානගත කරලා තිබෙන්නේ කියන එක අපි පැහැදිලිව කියා තිබෙනවා. මේ ක්‍ෂේත්‍රය ගැන දැනුමැති පාර්ශවත් මෙය කොහේ තිබෙනවාද කියන කාරණාව හරියාකාරව දන්නවා. අදාළව මහනුවර පල්ලේකැලේ අක්කර 10ක භූමි භාගයක නවීනතම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. මේ වනවිට විදේශ රටවල් ගණනාවක සමාගම් සහ ආයතන මේ චන්ද්‍රිකාවේ සේවය ලබා ගන්නවා.

අපිට තිබෙන ශක්ති ප්‍රමාණයෙන් අපි දවසින් දවස ගොඩනැඟිලා වර්ධනය වෙලා දැන් කලාපීය වශයෙන් ශක්තිමත් චන්ද්‍රිකා/ටෙලිපෝට් ක්‍රියාකරුවෙක් ලෙස කලාපයේ ප්‍රමුඛතම නාමයක් අත්පත් කරගෙන සිටිනවා. ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් අපි ලබාදී තිබෙනවා. විදෙස් සෘජු ආයෝජනයන් (FDI) මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන්න සමාගමේ ශක්තිය කැප කර තිබෙනවා

ඉන්දියාවේ චන්ද්‍රයාන් මෙහෙයුම එක්ක සුප්‍රිම් සැට් ගැන කියවෙන කතා ගැන මොකද හිතන්නේ?

ඔව්. අපි දැක්කා පහුගිය දවස්වල මේ සඳහා මහජන මුදල් ඩොලර් මිලියන 320කට වඩා වියදම් කළා කියල ඇත්ත තත්ත්වය දන්නා රටේ ප්‍රධාන පෙළේ දේශපාලකයන් පවා චෝදනා කළා. රටේ නායකත්වය බලාපොරොත්තු වන අය පවා ඇත්ත දැනගෙන කරන මේ කතා පිළිබඳව තියෙන්නේ කලකිරීමක්. මෙය ඔවුන්ට ඡන්ද කාලවලදී භාවිත කළ හැකි අවියක් ලෙස තියාගෙන කාලෙන් කාලෙට සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනවා.

මේ ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 320ක් කියන කතාව ඇත්ත. නමුත් ඒක මහජන මුදල්, ආණ්ඩුව සතු මුදල් කියන කතාව සම්පූර්ණයෙන්ම වැරැදියි. මේක තනිකරම අපේ පෞද්ගලික ආයෝජනයක්. මේ සඳහා ආයෝජකයන් කිහිප දෙනකුම මුදල් ආයෝජනය කර තිබෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් චීනයේ ළාබාල බිළියනපතියකු මේකට ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ආයෝජනය කළා.

දැන් අවුරුදු 10ක් තිස්සේ වුණේ ඔය ක්‍රියාවලිය තමයි. ඒ හරහා අපේ ආයතනයට ඇති වෙන අපකීර්තිය සහ කළු පැල්ලම ලේසියෙන් මකන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද අපි ගෝලීය වශයෙන් ව්‍යාපාර කරද්දී අපේ කීර්තිනාමයට සිදුකර ඇති හානිය අතිවිශාල ලෙස සෘණාත්මක බලපෑමක් කරනවා. මම කියන්නේ හැමදාම සාවද්‍ය ප්‍රකාශ කර කර ඉන්නෙ නැතුව එක්කෝ අපි වැරැදියි කියලා ඔප්පු කරලා අපි ගත්තයි කියන සල්ලි අපෙන් ලබාගන්න ඕන. එහෙම නැත්නම් අපට හානියක් නොකර පැත්තකට වෙන්න ඕන.

චන්ද්‍රයාන් සහ සුප්‍රිම් සැට් සමාන කිරීම හෝ සන්සන්දනය කිරීම හරිද?

චන්ද්‍රයාන් කියන්නේ චන්ද්‍රයා ගවේෂණය කිරීම පදනම් කරගත්ත ව්‍යාපෘතියක්. සුප්‍රිම් සැට් කියන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවක්. මේ දෙක දෙකක් කියලවත් අභූත චෝදනා නඟන බහුතරයකට අවබෝධයක් නැහැ. මේ දෙක සන්සන්දනය කරන්න පුළුවන් ඒවා නෙමෙයි කියන එක හරිම ප්‍රාථමික ඕනම කෙනකුට තේරෙන කාරණාවක්. අනිත් දේ කොහොමත් සන්නිවේදන චන්ද්‍රිකාවක පිරිවැය ලෝකයේ මොන රටක ගත්තත් ඩොලර් මිලියන 300-500ත් අතර වෙනවා. මොකද මේක උඩට යැව්වම අවුරුදු 15ක්වත් ස්ථානගත වෙලා තියෙන්න ඕන. ඒකට ලොකු පිරිවැයක් යනවා. නමුත් මේවා තාර්කිකව හිතලා තේරුම් ගන්න අපේ මිනිස්සු අපොහොසත්.

මොකද එයාලා ඇත්ත තේරුම් ගන්න කැමැති නැහැ. දේශපාලන නායකයෙක් කියන බොරු කතාවක් අහලා පිළිගන්න තමයි එයාලා කැමැති. අනිත් දේ දේශපාලන නායකයන්ටත් මේක ගැන දැනුමක් අරගෙන කතා කරන්න හෝ අවබෝධයක් ගන්න අවශ්‍ය නෑ. එයාලට ඕනේ අවියක් විධියට මේ සිදුවීම හැමදාම පාවිච්චි කරන්න. අනිත් දේ මාධ්‍යවලිනුත් මේ ගැන හරිහැටි දැනුවත් කිරීමක් මිනිස්සුන්ට කරලා නැහැ. ඉතින් මේ වගේ රටක මේ වගේ කර්මාන්තයක් පටන් අරන් අපිට වෙලා තියෙන්නේ දුක් විඳින්න.

මේ කතා සියල්ලටම හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා රෝහිත රාජපක්ෂ එනම් චිචී සම්බන්ධ වීමද?

මුලින්ම කියන්න ඕන මේක රෝහිත රාජපක්ෂට අයත් ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් නෙවෙයි. රෝහිත රාජපක්ෂ මෙයට සම්බන්ධ වෙන්නේ සුප්‍රිම් සැට්හි ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්‍ෂ තනතුරේ රැකියාව කරන්න පමණයි. ඒකත් අපි ඔහුව බඳවාගන්නේ ඔහු එකල ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ නිසාම නෙවෙයි. ඔහුට ඒ තනතුරට සුදුසුකම් තිබුණු නිසා. ඔහු ඒ වෙද්දී අභ්‍යවකාශ කර්මාන්තයට අදාළව අධ්‍යාපනය හදාරමිනුයි හිටියේ. ඒ දිනවල ඔහු සිය ආචාර්ය උපාධියක් සඳහා අදාළ ක්‍ෂේත්‍රයේ නිබන්ධනයක් කරමින් හිටියා. ඒ බලල තමයි අපි එයාව තෝරා ගත්තේ. අපි බලපු එකම දේ ඔහු මේ රැකියාවට සුදුස්සෙක්ද කියන එක විතරයි.

අනෙක ඔහු ජනාධිපතිවරයාගෙ පුත්‍රයා වීම මේකට නුසුදුසුකමක් නෙමෙයි කියන එක අපි විශ්වාස කළා. කොහොම වුණත් ඔහු 2012-2014 කාලයේ අපි සමඟ වැඩ කරලා ඔහුගේ අමතර අධ්‍යාපන කටයුතු සඳහා ආයතනයෙන් ඉවත් වුණා. ඒ කාලසීමාව ඇතුළේ ඔහු වැටුපක් ලබන සාමාන්‍ය ආයතනික සේවකයෙක් වුණා විනා වෙනත් විශේෂ යමක් තිබුණේ නෑ. නමුත් ඉතින් අභූත චෝදනා නඟන අය ඔහු ඉලක්ක කරලා තමයි අද මේ චෝදනා සියල්ල ආයතනය පැත්තට ගෙන එන්නේ.

දැන් කවුද මේ තනතුර දරන්නේ?

එයත් ශ්‍රී ලාංකිකයෙක්. විදේශයකදී අභ්‍යවකාශ තක්‍ෂණය ගැන හදාරා ශ්‍රී ලංකාවට පැමිණි කෙනෙක් එම තනතුරට පත්කර ගත්තා.

රෝහිත රාජපක්ෂව ආයතනයට සම්බන්ධ කරගැනීම මේ අර්බුද ඇති වෙන්නට බලපෑවා කියලද ඔබ විශ්වාස කරන්නේ?

පැහැදිලිවම. රෝහිත රාජපක්‍ෂ මහතාව ආයතනික සේවකයකු ලෙස බඳවා ගැනීම අපිව මෙහෙම ඉලක්ක කරලා පහර දෙන්න විශාල හේතුවක් වුණා. නමුත් ඒ තීරණය ගැන මම අදටත් පසුතැවෙන්නේ නෑ. මොකද අපි කළේ හරි දේ. ඔහු සුදුසුකම් සහිත කෙනා නම් ඔහුව තමයි අපි ආයතනයට ගන්න ඕනේ. එතැනදි ඔහු ජනාධිපතිවරයාගේ පුත්‍රයා නේද කියලා බලලා අපිට නෙරපා හරින්න බැහැ. අනිත් දේ ඔහු හොඳ දක්ෂ පුද්ගලයකු ලෙස තමන්ගේ රැකියාව කළා.

බැරිවෙලාවත් ඔහු රැකියාවක් නොකළානම් මිනිස්සු ඔහුට කියන්නේ ජනාධිපතිගෙ පුතා නිසා රස්සා කරන්නේ නෑ කියලා. නමුත් දැන් රස්සාවක් කරලා තියෙද්දීත් රැකියාවත් ආයතනයත් ඉලක්ක කරලා පහර දෙනවා.

අපි එදා කළේ වැරැදි දෙයක් නෙමෙයි කියලා දන්න නිසාම අපි චෝදනා නඟන පාර්ශ්වවලට ලොකුවට ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නෑ .අනිත් දේ තමයි මේකෙ හිටපු එකම සේවකයාත් රෝහිත රාජපක්ෂ නෙවෙයි. තවත් ඕනෑ තරම් ශ්‍රී ලාංකිකයෝ අපේ ආයතනය ඇතුළේ වැඩ කළා සහ වැඩ කරනවා.

කොහොම වුණත් ඒ දවස්වල කතා වුණා ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයගේ හොඳම යාළුවෙක් කියල. ඒ නිසයි රෝහිත රාජපක්ෂ සඳහා මෙම ව්‍යාපෘති ඔබ ආයතනය දියත් කළේ කියල?

ඒ කතාව වැරැදියි. මම මුලින්ම කළේ භාණ්ඩ නැව්ගත කිරීමේ ව්‍යාපාරයක්. විවිධ භාණ්ඩ වෙළෙඳාමට පිවිසියා. විදේශ ආයෝජකයන් එක්ක සම්බන්ධතා ඇති වුණා. මේ අතරේ මම ආතර් සී. ක්ලාක් මහත්තයාගේ පොත් කියවන්න ගත්තා. ඒ නිසා තමයි මට අභ්‍යවකාශය ගැන, චන්ද්‍රිකා තාක්ෂණය ගැන උනන්දුවක් ඇති වුණේ. එයින් ව්‍යාපාර අවස්ථාවක් සොයන්න මාත් උත්සාහ කළා.

සුප්‍රිම් සැට් සමාගම අද කොතැනද තියෙන්නේ?

අපි දැන් සමාගම පටන් අරන් වසර 11ක්. අපිට විදේශ රටවල් කිහිපයක ගනුදෙනුකරුවන් ඉන්නවා. නමුත් හිතූ තරම් ඉදිරියට යන්නට බැරි ලොකුම හේතුව අපි ගැන යන වැරදි ප්‍රචාර.

ඉතින් මේ ප්‍රචාර ආවේ මෑතකදීනේ?

නෑ… වරින් වර මේක මතුවෙනවානේ. දේශපාලකයන් වේදිකාවල කියන කතා මාධ්‍යවල යනවා. විශේෂයෙන් ඉංගී්‍රසි මාධ්‍යවල. අපි ආයතනයට අලුත් ගනුදෙනුකරුවෙක්ට කතා කරද්දී ඔවුන් අපි ගැන බලන්නෙ ඉන්ටර්නෙට් එකේ. සුප්‍රිම් සැට් ගැන ගහපුවම එනව අපි මහජන මුදල් ගත්ත කියල කතා වැලක්. එහෙම අය සමඟ ව්‍යාපාර කරන්න දියුණු රටවල ආයෝජකයන් කැමැති නෑ. අන්තිමේදී අපි නොකළ වැරැද්දක් නිසා අපේ ගමන අඩාල කරගෙන තිබෙනවා.

ඔය ප්‍රශ්න සියල්ලටම හේතුව රෝහිත රාජපක්‍ෂ රස්සාවට ගත්ත එක කියලද කියන්නේ?

ඒක වැරැදි විදිහට අර්ථකථනය කිරීම නිසයි එහෙම වෙලා තිබෙන්නේ.

මේ අර්බුද මැඬපවත්වා ගන්න සහ කර්මාන්තය ජයග්‍රහණය කරන්න රජයේ සහාය නොලැබුණාදැයි මම ප්‍රශ්න කළොත්?

අපිට මේ දක්වා තිබුණු කිසිම රජයකින් මේ සඳහා සහයෝගය දක්වලා නැහැ. කොටින්ම කිව්වොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රෝහිත රාජපක්ෂ මහත්මයා ඉන්න කාලෙත් ඒ රජයෙන්වත් ඔයාලට සහාය ලැබුණේ නැද්ද කියලා. ඒකටත් උත්තරය නැහැ තමයි. මොකද ඔහු අපේ ආයතනයේ රැකියාව කළාට කිසිම දවසක ආයතනයේ ලියුමක් අරගෙන රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා නෑ. කිසිම අනිසි වාසියක් ලබාගන්න උත්සාහ කරලා නැහැ.

චන්ද්‍රයාන් වගේ ව්‍යාපෘතියක් ගැන හිතල නැද්ද?

හිතල තියෙනවා. අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයට අයත් සමාගමක් විදිහට චන්ද්‍ර මෙහෙයුමටත් ලංකාව සම්බන්ධ කරලා තිබෙන්නේ. චන්ද්‍රයා ආශි්‍රත මෙහෙයුම්වලට විතරක් නෙමෙයි දීර්ඝ අභ්‍යවකාශ සම්බන්ධ මෙහෙයුම්වලටත් ලංකාව සම්බන්ධ කරලයි තියෙන්නේ. ඒ ගැන වැඩිදුර තොරතුරු ඉක්මනින්ම කරළියට එයි.

  • ප්‍රමේෂ් වික්‍රමසිංහ – මවුබිම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රංජිත් සියඹලාපිටිය හදිසියේ අසනීපවේ . . .

Sun Sep 3 , 2023
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය. භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x