ජගත් ක්‍රිකට් තහනමෙන් රටට වූ පාඩුව . . .

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කිරීමෙන් දේශීය ආර්ථිකයට අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි. ඩොලර් හිඟ රටකට මෙවැනි අවාසිදායක තත්ත්වක් නිර්මාණය කිරීම පිළිබඳ තමන් අතිශය කනගාටුවන බව ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබූ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයෙන් හා ලබන වසරේ ජූලි මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව අහිමිවී යෑමෙන් මේ ආර්ථික හානිය සිදු වන බව ක්‍රිකට් සභාපතිවරයා පැහැදිලි කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කීය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක සභාවට නිරීක්ෂකයකු ලෙස සහභාගි වූ තමන් දැඩි පරිශ්‍රමයක් දරා ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සඳහා සහභාගි විය හැකි වාතාවරණය සකස් කර ගත්ත ද, අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි මෙරටදී පැවැත්වීමට අවසරය ලබා දී නැතැයි සඳහන් කළේය.

“කිසිම අවස්ථාවක අපේ රටේ ක්‍රිකට් තහනම් කිරීමට මා අයිසීසීයට ලිපි ලියා නෑ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඇති බලපෑම් සම්බන්ධයෙන් අප අයිසීසිය දැනුම්වත් කළා. අයිසීසිය සමඟ පමණයි අප සියලු ගනුදෙනු කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම පිළිබඳ අයිසීසී රැස්වීමේ මිනිත්තු 45ක් පමණ සාකච්ඡා කළා. අයිසීසී නව නීති අනුව කිසිම රටක අතුරු පාලක කමිටු පිළිගන්නේ නෑ. ශ්‍රී ලංකා තහනම ඉවත් කර ගැනීමට නම් මුලින් කළ යුත්තේ අතුරු කමිටු ගැසට් එක අවලංගු කිරීමයි. රටේ ක්‍රීඩාවට ආදරය කරන ජනාධිපතිතුමා හොඳ විසඳුමක් දෙයි කියා අප විශ්වාස කරනවා” ශම්මි සිල්වා පැවසීය.

“ඒ වගේම මා ලෝක ශූර ලෙජන්ඩ්ස්ට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය පුළුවන් නම් භාර ගන්න කියා. ඉන්දියාවේ පුහුණුකරුට දෙන වැටුපට හා සමාන වැටුපක් දෙනවා. පුළුවන් නම් අභියෝගය භාරගෙන වැඩ කරලා පෙන්වන්න. අපි හොරකම් කරලා නෑ. අමෙරිකානු ඩොලර් මිලියන 30ක් ස්ථාවර තැන්පතුවේ තියෙනවා. හොරකම් කළා නම් සල්ලි ඉතුරු වෙන්න බෑනේ. බොරු අවලාද නඟන්න එපා. අපි අමාරුවෙන් ඉතිරි කළ සල්ලි ටික මේක ඇතුළට එන කට්ටිය හොරකම් කරන්නයි සැලැස්ම. ඒකට ඉඩ තියන්නේ නෑ” ශම්මි සිල්වා කීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දත් 38ක කතක් තිබ්බ අමුතුම වාර්තාව . . .

Thu Nov 23 , 2023
ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා ඇත. Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා තිබෙනවා. එමෙන්ම ගැහැණු ළමයෙකුගේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් තිබීමේ වාර්තාවට ද ඇය හිමිකම් ලබයි. ඇයට පහළ හකු දත් හතරක් සහ ඉහළ හකු දත් දෙකක් වැඩියෙන් පිහිටා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x