කෘෂි ප්‍රශ්න පත්‍ර පැන්නීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුව . . .

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක ම විභාග පැවැත්වීමට පෙර පිට කර සමාජ මාධ්‍ය වෙත මුදාහළ විභාග ශාලාධිපතිවරයෙකුගේ කාර්යාල කාර්ය සහායකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මොරටුව ප්‍රදේශයේ පාසලක විභාග ශාලාධිපතිවරයාගේ කාර්යාල කාර්ය සහායක ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව ‘මව්බිම’ට පැවසීය.

මෙම ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිද්ධියේ දැනට හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරු මොහු වන අතර මූල්‍ය ලාභයක් පදනම් කරමින් මොහු මෙම ක්‍රියාව කර ඇති බව ද විමර්ශන නිලධාරීහු සැක පළ කරති.

මොහු 38 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බවත් ඔහුගේ පදිංචිය මොරටු ප්‍රදේශය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සමාජ මාධ්‍ය ඔස්සේ කළ සංකීර්ණ විමර්ශනයකින් පසු මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඊයේ පස්වරුව වන විටත් ප්‍රශ්න කරමින් සිටියහ.

කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය වන, බහුවර්ණ ප්‍රශ්න 50කින් සැදුම්ලත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16ක් පිට වී ඇති බවත් එය මුල් ප්‍රශ්න පත්‍රයෙන් ම ඡායාරූප ගෙන පිට කොට ඇති බවත් ‘මව්බිම’ අනාවරණය කළේ ය.

කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 13 දින සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරි අම්පාර ප්‍රසිද්ධ පාසලක කෘෂිවිද්‍යා ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඔහු අම්පාර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු බවට ද විමර්ශනවලදී අනාවරණය විය.

සැකකාර ගුරුවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කොට ඇති අතර ඔහු ද වට්ස්ඇප් ඔස්සේ දෙවන ප්‍රශ්න පත්‍රය ගෙන එය ඔහුගේ අත්අකුරින් ලියා සිසුන් වෙත බෙදා හැර තිබේ.

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි 8 වන දා නිකුත් කළ අතර එහි දෙවන කොටස ජනවාරි 10 වන දා නිකුත් කළේ ය.

මෙම විභාග පැවැත්වීමට පෙර මොරටු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානය තුළදී මෙහි ප්‍රධාන සැකකරු වන කාර්යාල කාර්ය සහායක ප්‍රශ්න පත්‍රවල ඡායාරූප ගෙන එය සමාජ මාධ්‍ය ඔස්සේ පිට කර ඇත.

ඔහුගේ ප්‍රකාශ මත සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරඹා ඇත.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාළව ලද තොරතුරු මත විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විසින් ඉකුත් 12 වන දින මෙම දෙවන ප්‍රශ්න පත්‍රයට පමණක් අදාළ සියලු මාධ්‍යයන්හි විභාග අත්හිටුවූ අතර ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන බව නිවේදනය කළේ ය.

කෙසේ නමුත් කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මෙතෙක් විභාග දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් කර නොමැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහතට . . .

Tue Jan 16 , 2024
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේය. මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x