ඉරුණු සපත්තු යුගලට පණ දුන් අපූරු දන්සල . . .

සපතේරුවෙකු වන නිශාන්තට තමන්ගේ පයට පාවහන් පැලඳීමට දෙපා හිමි වී නැත. තම දරුවන්ගේ පයට පාවහන් යුගලක් පැලඳවීමට තරම් වත්කමක් ද නැත. එහෙත් ඔහු අනෙක් මිනිසුන්ගේ දෙපා සරසන්න දිවා රෑ වෙහෙසුණේ ය. ඉරුණු පාවහන් වටේ සීරු මාරුවට ඇවිදින නූල පසුපසින් දිවෙන ඔහුගෙ සපතේරු ජීවිතය කෙතරම් අසීරු වුවද ඔහු කැඩුණු පාවහන් පිළිසකර කර පැලඳ යන දිළිඳු දරු පැටවුන් දෙස බලා නිම්හිම් නැති තුටින් සිනාසුණේ ය.

නිශාන්තගේ නිවසට ඉරුණු පාවහන් රැගෙන එන රාජාංගනයේ යාය හතරේ මුදල් නොමැති කිසිදු දරුවෙකු ඔහු නැවත හරවා හැරියේ නැත. මහන්සියට සරිලන මුදලක් ඔහුට නොලැබුණත් ඔහු කිසිවෙකු හිස් අතින් හැරියේ නැත.

එවැනි සජීවිත මිනිසුන් මේ මිහිපිට කොතෙක් නම් සැඟව ඇති ද? මේ එවන් සත්පුරුෂයෙකු වූ නිශාන්ත පුෂ්පකුමාර නම් කුඩා මිනිසාගේ කතාවයි. ඔහු රටට ආදර්ශයකි. මීට වසර හතරකට පමණ පෙර එක්තරා රාත්‍රියක නිශාන්තගේ දෛවය වෙනස් විය. ඒ ඔහුට සිදුවූ හදිසි අනතුරක් නිසාවෙනි. එතෙක් යල මහ දෙකට කුඹුරු කෙටීමත් පොල්ගස් බඩ ගෑමෙන් උපයාගත් සුළු මුදලින් සිය පවුල රැක ගත්තේය. හදිසි අනතුරකින් ඔහුගේ එක් පාදයක් අහිමි විය. ජීවිතයේ හොඳම කාලවකවානුවේ ඔහුට පයක් අහිමි වුවත් ඔහු කිසිවිටකත් ඉන් සැලුණේ නැත.

ජීවිතයේ වාරුව කිහිලිකරුවකට භාර දී ඔහු බලා සිටියේ නැත. අසීරුවෙන් ගෙවා දැමූ ජීවිතය පෙරට වඩා දිරියෙන් නැඟී සිටීමට ඒ අහිමි වූ පය තීරණාත්මක

සන්ධිස්ථානයක් බවට හේ පත්කර ගත්තේය. ඉදිරියට එන අනේකවිධ බිඳවැටීම් හමුවේ අසරණ වුවත් ඔහු අවසානයේ තමා ඉදිරියේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට උගත්තේය. ඔහු කිසි විටෙකත් අනෙකෙකුට ඊර්ෂ්‍යා නොකළේය. තමාගේ ජීවිතය පිළිබඳ නොතැවුණේය. එසේම ලද ඇසිල්ලක ඔහු තවකෙකුට උපකාර කළේය.

ඔහු හිත හොඳ මිනිසෙකු බව දන්නා ගමේ උගතෙකු වන සමරසේකර නිශාන්තගේ නිවසට පැමිණ දිනක් අපූරු ආරාධනාවක් කළේ ය. රාජාංගනයේ යාය හතර ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය හදාරණ දරුවන්ගේ පාවහන් නොමිලේ පිළිසකර කර දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය. නිශාන්ත ඒ ආරාධනාව එකවර පිළිගත්තේ ය. සමරනායක අමුද්‍රව්‍ය අවශ්‍ය පහසුකම් සපයා දෙමින් නිශාන්තගේ නිවසට කිලෝ මීටර් තුනක් දුරින් ඇති පාසල ඉදිරිපිට අපූරු දන්සලක් ආරම්භ කළේය.

දන්සල යන වචනය අපිට අරුමයක් නොවූවද මේ දන්සල ඊට වඩා මදක් වෙනස් වූවෙකි. පාසල ඉදිරිපිට ඉටි කොළවලින් නිමවූ බැනරයක් එල්ලා තැබුවේය.එය ‘සපත්තු මහන දන්සල’ නමින් නම් කෙරුණේය. මේ අමුතු ආකාරයේ දන්සලට ආරාධනාව රාජාංගනයේ යාය හතර ප්‍රාථමිකයේ දරු පැටවුන්ටය. මෙහි ශ්‍රම දායකත්වය පාදයක් අහිමි නිශාන්තගෙනි. දන්සල දින තුනකි. ඒ දින තුන ඇතුළත ඔහුගේ දෑතේ සවියෙන් මසා නිම කළ ඉරුණු පාවහන් ගණන එකසිය හැට තුනකි. ඔහු පාසලේ තුනෙන් දෙකක පමණ දරුවන්ගෙ ඉරුණු පාවහන් මසා දීමට කටයුතු කළේය.

“සමරනායක මහත්තයා ගෙදරට ඇවිත් කිව්වා අපි අපේ රාජාංගනයේ යාය හතර ප්‍රාථමික පාසලේ දරුවන්ගේ ඉරුණු පාවහන් ටික මහලා දෙමු ද කියලා. මමත් ඉගෙන ගත්තේ ඒ පාසලෙන්. ඉතින් මම ගමේ ළමයින්ගේ සපත්තු ටික මහලා දෙන්න එක පයින් කැමැති වුණා. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මමත් දුක දන්න කෙනෙක්. අවශ්‍ය බඩු ටික සමරසේකර මහත්තයා අරන් දුන්නා. ඒත් පටන් ගත්තට පස්සේ මට දැනුණා හරිම අසීරු වැඩක් කියලා; ඒ අසීරු කාර්ය මේ ගමේ අහිංසක දරුවෝ වෙනුවෙන් ඉටු කළා. මට හිතා ගන්න බැරි වුණා; එකවර මේ තරම් සපත්තු ගොඩක් මහන්නේ කොහොමද කියලා. මේ සපත්තු මහන්න ලේසි වුණේ නැහැ ඒතරම් දිරාපත් වෙලා කැඩිලා ඉරිලා ගිහින් මහන්න බැරි තරම්. ඒත් අපිට වැඩිහිටියෝ විදිහට සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැරි නම් මහලා හරි දෙන එකවත් අපි කරන්න ඕන කියලා මම හිතුවා. අන්තිමට මගේ නූල් සියල්ලම ඉවර වෙනතුරු මම මැහුවා.“ යැයි ඔහු කතාව ආරම්භ කළේ ය.

“මේ ගමේ ඉන්නේ ගොවියෝ. මේ මිනිසුන්ට වත්කමක් නැහැ, සපත්තු දෙකක් අරන් දෙන්න. මගේ දණහිසට උඩින් කකුල ඉවත් කරලා තියෙන්නේ. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම පොල්කටු හැඳි හදලා සපත්තු කුඩ මහලා තමයි ජීවත් වෙන්නේ. සපත්තු මහගෙන යන්න දන්න කියන අය එනවා ගෙදරට. සමහර අය ළඟ සල්ලිත් නැහැ.

ඒත් මම මහලා දෙනවා. රාජාංගනයේ යාය හතර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දන්සලක් විදිහට ඉරුණු පාවහන් මසා දෙන්න ආරම්භ කළේ නැති බැරි මේ දරුවන්ගෙන් රුපියලක්වත් ගන්න නොවෙයි. මම දුප්පත් මිනිහෙක් වෙලා මට පුළුවන් යුතුකම කළා……“

“මේ රටේ දානපතියෝ ඉන්නවා. පුළුවන් නම් අපේ ගමේ අහිංසක මිනිසුන්ගේ මේ දරුවන්ට සපත්තු දෙකක් පොතක් පැන්සලක් හරි අරන් දෙන්න. ඒක ලොකු උපකාරයක් . මේ අයට රුපියල් තුන් හාරදාහක් වියදම් කරලා සපත්තු කුට්ටමක් ගන්න වත්කමක් නැහැ. අපේ ගම දුෂ්කර නිසා කිසි කෙනෙක් බලන්නවත් එන්නේ නැහැ. ඒ තරමට මේ ගම දුෂ්කරයි. දරු පැටවු හුඟක් දුර පයින්මයි පාසලට එන්නේ. ඒ නිසා සමහර අයගේ සපත්තුවල අඩිය හිල් වෙලා.

සමහර අයගේ සපත්තුවල උඩ පැත්තේ ලොකු හිල්. ඇඟිලි එළියටත් පේනවා. දැක්කම හරි දුකයි. සපත්තු කුට්ටමක් දෙන්න පුළුවන්නම් පිනක්. මේ පොඩි මිනිසාගේ මිනිසත්කම අපි ඇගැයිය යුතුය. මිනිසත්කම හොඳින් හඳුනන නිශාන්ත තුළ දුර්ලභ ගති පැවැතුම් බොහෝ ඇත්තේය. ඒ උතුම් මිනිසත්කම නිසා අබාධිත තත්ත්වයේ සිටියත් ඔහු මිනිසුන් වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කිරීමට නොපැකිලව ඉදිරිපත් වෙයි.

“හදිසියේම මගේ කකුල ඇක්සිඩන්ට් වෙලා කැපුවාට පස්සේ මම අන්ත අසරණ වුණා කකුලක් බද්ද කළත් එය අවුරුදු දෙකයි මාස හතකින් ඉවත් කරන්න වුණා. ඉන් පසුව තිබුණ තත්ත්වයටත් වඩා කකුල කොට වුණා නැවත ඒ කකුල ඉවත් කරන්න වුණා. තුවාලය සුව වෙන්න කාලයක් ගියා. අන්තිමට තිබුණටත් වඩා තවත් අඟල් තුනක් කකුල අඩු වුණා. කෘත්‍රිම පාදයක් දාගෙන ඉන්නත් හරිම අමාරුයි. මට දැන් විකල්පයක් නැහැ. සපත්තු හදන එක මම යාළුවෙක්ගෙන් පුරුදු වෙලා ඒකත් කළා. පොල්කටු හැඳි හදන්න පුරුදු වුණා.

පාන්දර තුන හතර වෙනකල් මේ දේවල් මම කරනවා. අපිට ජීවත් වෙන්න පොඩි කාමර කෑලි දෙකක් හා වරිච්චි කුස්සියකුයි තියෙනවා. මම පුළුවන් විදිහට අනෙක් අයට උපකාර කරනවා. අපිට අගහිඟකම් කොතෙක් තිබුණත් අපි සතුටින් ජීවත් වෙනවා. මගේ දුවත් ප්‍රාථමිකයේ ඉගෙන ගෙන යාය පහ ජාතික පාසලට ගියේ. මේ ප්‍රාථමිකයේ මමත් ඉගෙන ගත්තේ. අගහිඟකම් කොතෙක් තිබුණත් මම සමරනායක මහත්තයාගේ ඉල්ලීම අහක දැම්මේ නැත්තේ ඒ නිසයි. අපි වගේම අගහිඟකම් තියෙන මිනිස්සු මේ ගමේ ඉන්නේ. ගෙදර ඉදලා මීටර් තුන්සීයයක් විතර එහා මගේ ගෙදර තියෙන්නේ. එදා මම සමරනායක මහත්තයා එක්ක එකතු වෙලා මේ සපත්තු මහන දන්සල කියලා ආරම්භ කළා.

මම කාගෙන්වත් සල්ලි ගත්තේ නැහැ. සමරනායක මහත්තයා අරන් දුන්න නූල් මදි වෙලා ගල්ගමුවෙන් තවත් නූල් ගෙනල්ලා ආයෙත් මැහුවා. මේ ආරංචිය ගිහිල්ලා තවත් රඹෑව පාසලක දරුවන්ගේ සපත්තු කුට්ටම් හැටක් විතර මැහුවා; ඒ ඉස්කෝලේ ළමයිනුත් ආවා. සපත්තු මස්සවා ගන්න. සමහර කළුපාට සපත්තු දුඹුරු පාටයි. අව්වට පිච්චිලා හොඳටම දුර්වර්ණ වෙලා. “

අනුරාධපුර යාය හතර ප්‍රාථමිකයේ විදුහල්පතිනිය ජි බී. ශ්‍යාමලි නිරංජිකා ගුණරත්න මේ පාසලට පැමිණියේ සිව් මසකට පෙරය. එදා සිට දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු මෙන්ම අනෙක් සියලු අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලුවා ය. උදෑසන රැස්වීමේදී ඇය ඉදිරියේ සිටගෙන සිටින දරු පැටවුන්ගේ දෙපයේ ඇති කැඩුණු පාවහන් ඇය නෙත ගැටුනේය.

විදුහල්පතිනිය නිතර පිරිසිදුකම පිළිවෙළ පිළිබඳව කියා දුන්නත් බොහෝ දරු දැරියන්ට විදුහල්පතිනිය කියන දේ අකුරටම පිළිපැදීමට නොහැකි වන්නේ අකීකරුකම නිසා නම් නොවෙයි. එසේ වූවා නම් ඒ නැති බැරිකම නිසා බව ඇය දැන සිටියාය. එක්වර දරුවන් දෙසිය විසි අටකට ඇති අඩුපාඩු පිරිමැසීමට ඇයට හැකියාවක් නැත. “මේ රාජාංගනය යාය හතර ගමේ ප්‍රාථමික පාසලේ දරු දැරියන් කුමන ආකාරයේ අඩුපාඩුකම් මැද පාසලට පැමිණියත් ඉගෙන ගන්න හරි දක්ෂයි. මේ ගමේ බොහෝදෙනෙක් ඉන්නේ ගොවියෝ. ගම හරි දුෂ්කරයි. ළමයි බස් එක එනකම් බලන් ඉන්නේ නැහැ. හරි උනන්දුවෙන් ඉස්කෝලෙට දුවගෙන එනවා. ගිය වසරෙත් දරුවෝ කිහිපදෙනෙක් ශිෂ්‍යත්වය සමත් වුණා. මේ දරුවන්ට හුඟාක් අඩුපාඩු තියෙනවා.බොහෝ ළමුන්ට සපත්තු කුට්ටමක් මිලදී ගැනීමට තරම් වත්කමක් නැහැ. සපත්තු ටික මහලා දෙන එක තමයි අපිට කළ හැකි පළමු කාර්යය. එය ඉටු කිරීම කැමැත්තෙන්ම සහය දුන්නේ අපේ ගමේ සමරනායක මහත්මයා. පාසලේ ඉගෙන ගන්න දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.

“විදුහල්පතිතුමිය පැවසුවාය.

මේ සපත්තු දන්සලක් ආරම්භ කිරීමේ සත්කාරය සඳහා මුල පිරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කැලණි සවිය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජී ඩි.කේ සමරනායකයි. ඔහු රාජාංගනයේ යාය හතර ගම් වැසියෙකි. ඔහු විසින් ඉලෙක්ට්‍රොනික ගම්මානයක් සහ පාසලේ දරුවන්ට ගණිතය විද්‍යාව ඉගැන්වීම වැනි සත්කාර රැසක් සිදුකරයි.

පීඩාවෙන් ජීවත් වන මිනිසුන්ට යම් සහනයක් ලබාදීම ඔහුගේ අරමුණයි. වැසි කාලයේ රාජාංගනයේ යාය හතර ප්‍රාථමිකයේ දරුවන්ගේ පාවහන් තෙතබරිත වී කැඩී බිඳී යයි; ඉඩෝර සමයේදී දූවිලිවලින් පාවහන් වැසීයයි. ඉඳහිට වැස්සකට හැර ඇතැම් දරුවන්ගේ පාවහන් සේදු බවක් නොපෙනන තරමට ඒවා කිළිටි වී ඇත.

“මේ පාසලට මම ගිය වෙලාවක දැක්කා හුඟක් දරුවන්ගේ පාවහන් හොඳටම ඉරිලා ගිහින් කියලා. පාසලේ දරු දැරියන්ට සපත්තු කුට්ටමක් අරන් දෙන්න මේ අවස්ථාවේ අසීරුයි; ඉන් පසුව මම මේකට පිළියමක් කල්පනා කළා. විදුහල්පතිනියත් සමඟ සාකච්ඡා කරලා ගමේ සපත්තු මහන නිශාන්තටත් මේ සඳහා දායක වෙන්න කියලා මම මේ වැඩේ පටන් ගත්තා. ඉටිකොළවලින් පොඩි බැනරයක් පාසල ඉදිරිපිට දැම්මා. දරුවන්ගේ සපත්තු මසා දීමට නොමිලයේ සිදු කරන්න අපි කටයුතු කළා. දන්සලක් කිව්වාම බයක් සැකක් නැතුව ඇවිත් තමන්ගේ සපත්තු කුට්ටම මසා ගැනීමට දරුවෝ එනවා නේ. සපත්තු මහන්න අවශ්‍ය අමුද්‍රව්‍ය නිශාන්තට ලබා දුන්නා. එයා ඒක සත්භාවයෙන් පිළිගත්තා. ඉන් පසුව නගරයට ගිහින් අවශ්‍ය කරන උපකරණ අරන් ඇවිත් මේ දන්සල ආරම්භ කළා. මගෙත් දියණියන් දෙදෙනා යන්නේ මේ පාසලටයි. ගෙදර තියෙන කැඩුණු සපත්තු කුට්ටම් අරගෙන පාසලට ඇවිත් දරුවෝ සියලු දෙනා පාවහන් මසාගෙන ගියා.” යැයි සමරනායක මහතා මේ සත්කාර්ය පිළිබඳව පැහැදිලි කළේය.

ළමුන් 228ක් ඉගෙනුම ලබන අනුරාධපුර රාජාංගනයේ යාය හතර ප්‍රාථමිකයේ ගුරුමණ්ඩලය 14කි. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී යාය හතර ප්‍රාථමිකයේ ශිෂ්‍යත්ව හපනුන් ගණන දහයකි. එයින් 166න් ලබාගත් ශිෂ්‍ය සංඛාව තුනකි. මේ දරුවන්ගේ දෙමාපියන්ගේ ජීවිකාව ගොවිතැනයි. ඉඩෝරයට නිල් අහස දෙස බලා හූල්ලති. මහවැසි කාලයට වැව්දිය උතුරා කුඹුරු පාළු වන විට වැලපෙති. ඇතැම් විට ස්වභාව ධර්මයාත් එරෙහි වන මේ ගමේ ගැමියන්ට දරුවන්ගේ කුස පිරෙන්නට අහරක් දීමටවත් නොහැකිය.

පාසල් යැවීමට අවශ්‍ය කරන පත පොත සොයා ගන්නේ බොහෝ අසීරුවකිනි. ඔවුන්ට සපත්තු කුට්ටමක් යනු සිහිනයකි. එහෙත් අකුරු කිරීමට කැමැති දරුවෝ උදෑසනින්ම ප්‍රාථමිකයට දුවති. ඉඩොර සමයේ දූවිලි නාති. වැසි සමයේ දී මඩදියේ එරි එරී පාසලට යති. එය ගැමියන්ගේ නෙතට හුරු දසුනකි.මේ දුකම අනුභව කරමින් ජීවත් වන මේ ගැමියන්ගේ දුකට පිහිට වන නිශාන්ත වැනි මිනිසුන් අපි ඇගැයිය යුත්තේ ඒ නිසාවෙනි.

අංක: 65 යාය හතර, රාජාංගනය නිවසේ ඔහු පදිංචි යාය හතර, තඹුත්තේගම සිට බස් රියෙන් කිලෝමිටර් 18 දුර ගිය විට ප්‍රධාන මාර්ගයේ සිට මීටර් විස්සක පමණ දුරින් නිශාන්තගේ නිවස පිහිටා ඇත. හදිසි අනතුර වීමට පෙර යල මහ දෙකම කුඹුරු වැපූරු ඔහුගේ නිවසේ අගහිඟකම් නොතිබිණි.

ඔහු මෙන්ම ගොවිතැන් බතින් මේ ගමේ බොහෝ ගැමියෝ ජිවත් වෙති. නිශාන්ත පුෂ්පකුමාර (39) දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. නෙත්මි නවෝද්‍යා වැඩිමහල් දියණියයි (12) සිත්මි පහන්යා වයස එකහා මාරකි. බිරිය ශ්‍රියානි කුසුමලතා (38)ට රැකියාවක් නැත. ඔහුට රජයෙන් ලැබෙන්නේ ආබාධිත දීමනාවක් පමණි. සපත්තු මැසීමට හෝ පොල්කටු හැඳී විකිණීමට නොහැකි වන කාලවල ඔහුට ද නැති බැරිකම් රැසකි. එහෙත් ඔහු පරහිතකාමී මිනිසෙක් බව ගැමියෝ පවසති. ජීවිතයේ අඩියටම වැටුණු මිනිස්සු තවෙකෙකුගේ දුක හඳුනති. ඔහු එවැනි මිනිසෙකි. නිශාන්ත සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේය. එතැනින් එහාට අගහිඟකම් නිසාම පාසලේ පන්තිවලින් ඉහළට යෑමට ඔහුට නොහැකි විය. විභාග සමත් වුවත් ජීවිත අසමත් මිනිසුන් අතර ඔහු ජීවිතය සමත් වූ මිනිසෙකි.

  • සුභද්‍රා දේශප්‍රිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෆවුසිට ‌එරෙහි නඩුව යළි කැදවයි . . .

Mon Feb 5 , 2024
ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි කාලයේදී නෙදර්ලන්තය පරිත්‍යාග කළ සුඛෝපභෝගී රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට රුපියල් ලක්ෂ 10 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩුව යළි ලබන 29 වනදා කැඳවීමට මහාධිකරණය නියෝග කර ඇත. මහාධිකරණ විනිසුරු ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරියේ එය අද (05) කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x