ගිං ගඟෙන් යළි මතු වූ ගංගල්ගුල්ලා . . .

ගංගල්ගුල්ලා අවුරුදු 87කින් පසු යළිත් ලංකාවේ ගංගාවකින් වාර්තා වී තිබිණි. ආඳාගේ හැඩය ඇති මුත් ඉතාම විචිත්‍ර කහ පැහැයකින් යුතුව කළු පැහැති වයිරම් සහිත මාළුවාට ගංගල්ගුල්ලා කියා ගැමියන් කීවේ ගංගාවල ගල් සහිත ප්‍රදේශ අතර රැඳෙමින් ජීවත් වූ බැවිනි. ගංගාවල ජලය එක්වන නිශ්චල තටාක හෝ නිවර්තන වැසි වනාන්තර පරිසරයන් තුළ බොහෝ ගල් සහිත ඉතා සෙමින් ගලා යන ජලයේ ගංගල්ගුල්ලා හමු වූ ඉතිහාසයක් අපට තිබිණි.

ගංගල්ගුල්ලා අපට ආවේණික මත්ස්‍යයෙක් නොවේ. 1853 දී Pieter Bleeker විසින් හඳුනාගෙන විද්‍යාත්මකව Gymnothorax Polyuranodon ලෙස නම් කළ මේ මත්ස්‍යයා Freshwater Moray ලෙස බටහිර රටවල වැසියෝ කටවහරට කීහ. හමු වී තිබුණේ පිලිපීනය, ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියා, උතුරු ඔස්ට්‍රේලියා වෙරළ තීරය, සහ බටහිර පැසිෆික් කලාපයේ දූපත්වලය.

ගංගල්ගුල්ලා ලෙස අප දැන සිටියේ ඒ Gymnothorax Polyuranodon බව මුලින්ම අපට වාර්තා කරන්නේ විශිෂ්ට සත්ත්ව විද්‍යාඥයෙක් මානව විද්‍යාඥයෙක් වන ආචාර්ය පී.ඊ.පී.දැරණියගලය. ඔහු මේ ජීවි දර්ශ හඳුනා ගන්නේ වර්ෂ 1936 දී රත්නපුර කහන්ගම සහ දොඩංගොඩිනි.

සොබාදහමේ විචිත්‍ර ආදර්ශය

ගංගල්ගුල්ලා යනු සොබා දහම විසින් ලබා දුන් විචිත්‍ර ආදර්ශයකි. දැනට පර්යේෂකයන් අනාවරණය කරන අකාරයට ගංගල්ගුල්ලා ප්‍රජනනය කර පැටවුන් බෝ කරන්නේ ලවණ සහිත ජලයේ ය. ගංගල්ගුල්ලාගේ මේ කීට අවස්ථාව දැකගන්නට කරදිය ආශ්‍රිත පරිසරයට යා යුතුය. කිවුල් ජලයේ, විශේෂයෙන්ම කඩොලාන වනාන්තරවල, විශාල මත්ස්‍යයන්ගෙන් ආරක්ෂාව සඳහා සැඟවී සිටින ළපටි ගංගල්ගුල්ලන් නිතර හමුවන ආකාරය වෙනත් රටවල පර්යේෂකයෝ වාර්තා කර තිබුණහ. Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ‘ගංගල්ගුල්ලා’ විශේෂයේ වැඩුණු සතුන් සම්පූර්ණයෙන්ම හමුවන්නේ මිරිදියෙනි. කරදියේ ඉපදි මිරිදියට පැමිණ ප්‍රජනනය කරන්නට කරදියට එන මේ අපූරු මාළුවා ගැන විද්‍යාඥයන් උනන්දු වන්නේ උගේ අපූරු ජීවන චර්යාව නිසාය. වර්ෂ 1936 දී ආචාර්ය පී.ඊ.පී දැරණියගල රත්නපුරයෙන් සොයා ගන්නේ එවැනි කරදියේ ඉපදී යෞවනය මිරිදියේ ගෙවන්නට පැමිණි ගංගල්ගුල්ලෙකි.

සර්ප හැඩැති මාළුවා

ගංගල්ගුල්ලා එක අතකට සර්පයකුට සමානය. උපරිම වශයෙන් වැඩුණු සතෙක් අඩි 4යි අඟල් 9ක් දිගය. කෙසේ වෙතත් වැඩුණු සතෙක් අඩි 03කට වඩා විශාල ලෙස හමුවන්නේ ඉතාම කලාතුරකිනි. පෙනුමට සමානවම ගංගල්ගුලාට ඇත්තේ සර්ප හිසකට සමාන හිසකි. හිසේ ප්‍රමාණයට සමානුපාතිකව ඉතා කුඩා දත් තිබේ. මත්ස්‍යයා මාංශ භක්ෂකය. ආහාර සම්පූර්ණයෙන්ම පාහේ මාළුය. ඉඳහිට ඉස්සන්, සහ පණුවන්ගෙන් සමන්විතය. ඔවුහු සජීවී ආහාර අනුභව කිරීමට රුචි වෙති. මේ මාළුවාගේ පෙනීම දුර්වලය. නමුත් විශිෂ්ට සුවඳ දැනීමක් ඇත. සර්පයෙක් සේම විෂ සහිත ඛේටය මේ මත්ස්‍යයා සතුය. මාරාන්තික නොවන මුත් දෂ්ට කිරීම වේදනාකාරීය. ඉන් ඇතිවන තුවාලය ආසාදනය විය හැකිය.

යළි හමුවීම

මේ අපූරු සර්ප හැඩැති මාළුවා දැරණියගලයන් විසින් වාර්තා කිරීමෙන් අවුරුදු 84කට පසු යළි මෙරටින් වාර්තා වුණේය. ඒ ගිංගඟේ වක්වැල්ල ප්‍රදේශයෙනි. මත්ස්‍ය සජීවී නිදර්ශකයක් සහිතව මේ වාර්තා කිරීම සිදුවන්නේ හිරණ්‍ය සුදසිංහ (බර්න් විශ්වවිද්‍යාලය), තරිඳු රණසිංහ (Wild lsland Foundation) සහ ස්විට්සර්ලන්ත ජාතික ලූකාස් රූබර්(බර්න් ස්වභාව විද්‍යා කෞතුකාගාරය) ඇතුළත් පර්යේෂණ කණ්ඩායම විසිනි.

එයට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 23 වැනිදා ‘Zootaxa’ යන අන්තර්ජාතික විද්‍යාත්මත සඟරාව මඟින් ප්‍රකාශයට පත් වූයේය. පර්යේෂණයට අදාළ ගංගල්ගුල්ලා වාර්තා වන්නේ 2021 වර්ෂයේදීය. මාළුවා හසු වී තිබුණේ වක්වැල්ල ප්‍රදේශයේ ධීවරයකුටය. දශක අටකට පසු ගංගල්ගුල්ලා ලංකාවෙන් වාර්තා කළ ආකාරය ගැන එම පර්යේෂණ කණ්ඩායමේ පර්යේක්ෂකයෙක් වූ Wild lsland Foundation හි තරිඳු රණසිංහ සිළුමිණට විස්තර කළේය.

“ ගංගල්ගුල්ලා ලංකාවට ආවේණික මාළුවෙක් නෙමෙයි. 1936න් පසු ලංකාවෙන් මෑතකදි වාර්තා වෙන්නේ අපට මේ හම්බ වුණ අවස්ථාවේ විතරයි. ගංගල්ගුල්ලා සර්පයෙක් වගේ දිගටි සිරුරක් හිමි කහපාටට හුරු ශරීරයේ කළු පාටට හුරු වරයිරම් තිබෙන මත්ස්‍යයෙක්. ඒ වර්ණ රටාව නිසාම අනෙක් මාළුන්ගෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන්.

මේ මාළුව ජීවත් වෙන්න ප්‍රිය කරන්නේ අඩි 10ක් පමණ ගැඹුරු දියේ ගල් අස්සේ රිංගලා තමයි. ඒ නිසා මේ මාළුවා නිරුපද්‍රිතයි. ගොඩක් වෙලාවට දැල්වලට එහෙම ඌව අහුවෙන්නේ නෑ. ඒ නිසාම වෙන්න පුළුවන් මේ මතස්‍ය වර්ගය ගැන වාර්තා වීම් අඩු.

ගල්ගුල්ලා සහ ගංගල්ගුල්ලා

අපට හමුවෙනවා කරදියේ ඉන්න ගල්ගුල්ලා කියන මාළුවෙක්. ගල්ගුල්ලා සහ ගංගල්ගුල්ලා අතර තියන ප්‍රධානම වෙනසක් තියනවා. ගල්ගුල්ලන් මුලු මනින්ම කරදියේ එනම් මුහුද ආශ්‍රිතව පමණයි. නමුත් ගංගල්ගුල් ගේ වැඩිහිටි සතුන් වාර්තා වෙන්නේ මිරිදිය ආශ්‍රිතවයි. ඉතාම කලාතුරකින් ඔවුන් අඩු ලුණු සාන්ද්‍රණයක් සහිත කලපුවලින් වාර්තා විය හැකියි. ඒ හැරුණාම ගංගල්ගුල්ලා වාර්තා වෙන්නේ මිරිදියේ.“ ඔහුගේ කෙටි හැඳින්වීමෙන් අනතුරු මේ මත්ස්‍ය දර්ශකය ඔවුන් වෙත ලැබුණ අයුරු විමසුවෙමි.

“ධීවරයකුට අසුවුණු මාළුවෙකුගේ ෆොටෝ එකක් එවනවා අපට. ඒ අය කියලා තිබුණ කලින් මේ මාළුවා දැක නැතිබව. අපි හඳුනාගත්තා මේ ගංගල්ගුල්ලෙක් කියලා. නමුත් එය විද්‍යාත්මකව තහවුරු කළ යුතුයි. අපි කළේ ඒ මාළුවා ධීරවයගෙන් අරන් අපේ ඉදිරි පරීක්ෂණ කටයුතු ඇරඹීම.

ඊට පස්සේ පිළිගත් විද්‍යාත්මක ක්‍රම අනුව මාළුවගේ කරමල්වලින් මුලින්ම සාම්පල් ගත්තා. ඒ සාම්පලයෙන් ජාන විද්‍යාත්මක විශ්ලේෂණයකට ගියා. එයින් තමයි තහවුරු කරගන්නේ මේ ගංගල්ගුල්ලෙක් බව. “ තරිඳු රණසිංහ පවසන්නේ මේ විචිත්‍ර මත්ස්‍යයා සම්බන්ධව තව පර්යේෂණ කළ යුතු බවය. විරලව හමුවන ගංගල්ගුල්ලාගේ ගහනය ව්‍යාප්ත වී ඇති ආකාරය හා ගහන ඝනත්වය සම්බන්ධව අදහසක් ලබා ගත යුතු බවය.

“ අප හිතුවට වඩා මේ පරීක්ෂණය පත්‍රිකාවට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අපි කළ පරීක්ෂණ පත්‍රිකාවලින් මේ පත්‍රිකාව තමයි විශාල ලෙස ප්‍රතිචාර ලැබුණේ.” තරිඳු කීවේය.

කරදියේ ඉපදී මිරිදියට පැමිණ යෞවනය ගත කර ප්‍රජනනයට යළි කරදියට යන මේ විචිත්‍ර මත්ස්‍යයා කලින් රත්නපුරේදීත් හමු වන්නේය. ගංගල්ගුල්ලා දැන් අපට හමු නොවන්නේ ඇයි? එය විද්‍යාත්මකව විමසිය යුතු ප්‍රශ්නයක් බව සිතමු.

  • ටානියා මෝසස්
  • ඡායාරූප – තරිඳු රණසිංහ, සනෝජ් විජයසේකර

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැසිනෝ ගසා බංකොළත්වී හෙරොයින් ජාවාරම් කළ කෝටිපතියෝ . . .

Sun Mar 3 , 2024
කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3)  අත්අඩංගුවට ගනු ලැබූහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ දැනට ඩුබායි රටට පලාගොස් සිටින බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජයටම කරගෙන ගොස් ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x