පෙත්සම සලකා බැලීමෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි . . .

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවසාදායක සභාව ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න විසින් ගොනු කර ඇති පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර අද (28) එම කටයුතුවලින් ඉවත්විය.

මෙම පෙත්සම ඊයේ එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුන් මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී. එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සඳහන් කළේ අදාල පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් පෞද්ගලික හේතූන් මත තමා ඉවත් වන බවයි.

මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ද එහි සලකා බැලීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණි. ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් මේ වන විට විනිසුරුවරු දෙදෙනෙකු ඉවත් වී සිටිති.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමටද අධිකරණය නියම කළේය.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරව හදිසි නඩු කටයුත්තක් සේ සලකා එළඹෙන අධිකරණ නිවාඩු සමයේ වුවද එය සලකා බැලීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා ප්‍රකාශ කළේ එවැනි දිනයක් ලබාදිය නොහැකි බවයි. ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 30 වන දා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කළහ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කරන ලෙස අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර තිබූ බවයි. එම නිර්දේශයට අනුව ජනාධිපතිවරයා විසින් නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ අතර ඉකුත් ජනවාරි මස 19 වනදා එම නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළ බව දැන ගන්නට ලැබී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු ඒ තුළින් ඔවුන් අධිකරණ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදුකර ඇති බවත් චෝදනා කර තිබේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දමිතා CIDය මග හැර නිවසෙන් පැනයයි . . .

Thu Mar 28 , 2024
විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යව සිටින ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමීය සිය නිවසෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගැනීමට අපරාධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x